කච්චතිව් මංගල්ලෙට දහ දාහක්


පෝක් සමූද්‍ර සන්ධියේ නිල් ජල තලයෙන් වටවූ කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තුන් දින වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනය අදයි.

තෝම්ස් සෞන්ද්‍රනායගම් යාපනය අග රදගුරුතුමන් අද උදේ පැවති අවසන් දේව මෙහෙයට අඩු ගණනේ දස දහසක් එක් වූහ. ඉන් වැඩි දෙනා ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.

දෙරටේ ධීවරයනට පිහිටවන බව කියන ශාන්ත අන්දෝනි මුනිඳුන් පිහිටි මේ දේවස්ථානය යාපනය හා ඉන්දියාව අතර පිහිටියේය.

අක්කර 285ක් පමණ වන මෙම දූපත ජන ශූන්‍ය දූපතකි.

පැමිණි දකුණු ඉන්දියා බැතිමතුන් ඇතුළු සියලු දෙනාට ආහාරපාන ඇතුළු සියලු පහසුකම් උතුරේ නාවික ආඥාපති රියර් අද්මිරාල් ශිරන්ත උඩවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සැපැයිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශෝක් ජේ කාන්ත්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහ, ඇමැති ඩග්ලස් දේවානන්ද මහත්වරු ද දේව මෙයෙහට පැමිණ සිටියහ.

දේව මෙහෙයෙන් පසු දෙරට බැතිමත්හු ආපසු යෑම ඇරඹූහ.

ඉන්දියාවෙන් පැමිණි බෝට්ටු සංඛ්‍යාව 80 ඉක්මවා තිබිණි.