ඕස්ට්‍රේලියාව වේගපන්දුවෙන් දුලිප්, සුනිල් රෝහලට යවයි


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භය සනිටුහන් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. ශ්‍රී ලංකාව පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීමේ වරම් උදාකරගත්තේ අනුර තෙන්නකෝන්  මහතාගේ නායකත්වයෙන් 1975 වසරේදීය. එදා පැවති පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවූයේ ලොව සිටි දක්ෂතම කණ්ඩායමවූ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිළත් සමගය. එයින් ඉතා අසරණ තත්ත්වයට අප කණ්ඩායම ඇද වැටුණද කොදෙව්වෝ තරග බිමේ හැසිරුණේ මහත්මා ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසටය. ඉතා අඩු පන්දු ඕවර සංඛ්‍යාවකින් කණ්ඩායම දවාලූ ඔවුහු නරඹන්නන් උදෙසා සුහද තරගයක්ද පැවැත්වූහ. එහිදී දුලිප් මෙන්ඩිස් ප්‍රශංසනීය ඉනිමක් ක්‍රීඩා කළේය.

අත් දැකීම්වලින් අඩු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඇඟට පන්දුව එල්ල කරමින් අප ක්‍රීඩකයන් රෝහල් ගත කළ තරගය පැවතියේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී 1975 ජූනි මස 11වැනි දිනදීය. අප ශ්‍රී ලංකා පිළට තරග වදින්නට සිදුවූයේ ලොව ප්‍රබල වේග පන්දු යවනනන් ලෙස විරුදාවලිය ලත් ජෙෆ් තොම්සන් සහ ඩෙනිස් ලිලී තරග කළ ඉයන් චැපල්ගේ නායකකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියා පිළ හමුවේය.

කඩුලු 5කට ලකුණු 328 රැස්කළ ඕස්ට්‍රේලියා පිළට එරෙහිව ශ්‍රී ලංකා පිළ ක්‍රමවත්ව ලකුණු අතරට පිවිසෙන අයුරු අවබෝධ කරගත් ඕස්ට්‍රේලියා නායකයා මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව පසෙකින් තබා ලිලිපුට්ටන්ගෙන් සිදුවෙන පරාජයෙන් බේරීමට තීරණය කළේය. වේග පන්දු යවන ඩෙනිස් ලිලීගේ පන්දුවක් දුලිප් මෙන්ඩිස්ගේ නළල මතට වැදීමෙන් ඔහු තම සීමා ඉර මතම ඇද වැටුණේය. වේග පන්දු යවන්නන් ඉදිරියේ ආරම්භක පිතිකරු ලෙස ඉතා හොඳින් ක්‍රීඩා කළ සුනිල් වෙත්තමුණිගේ සිරුරට ඒ වනවිට වරින්වර පන්දුව එල්ලවීම හේතුවෙන් ශරීරයේ තැලීම්, ඉදිමුම් සහ කෙටීම් කිහිපයක් ඇතිවිය. එහෙත් ඔහු සියලුම වේදනා මැඩගනිමින් වේග පන්දු යවන්නට නොබියව නොසැලී මුහුණ දුන්නද කඩුල්ල වෙත යොමු කළ යුතු පන්දු වෙත්තමුණිගේ සිරුරට එල්ල කිරීමෙන් ඔහුගේ උකුල් ඇටය පිපිරීමක් ඇති කිරීමත්, ඊළඟ පන්දුව ඉළ ඇට ප්‍රදේශයට පතිති කිරීම හේතුවෙන් ඔහුටද රෝහල් ගත වන්නට සිදුවිය.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් හමුවේ දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණිෙ තුවාල ලැබීය. මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඕස්ට්‍රේලියා ලකුණු සීමාව හඹායාම නතර කිරීමට ඕස්ට්‍රේලියා නායකයාට වෙනත් විකල්පයක් නොතිබූ නිසා යැයි එදා තරගය නැරඹූ ඇතැමෙක් කීහ.