ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බාරේ සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, එතෙක් ඇය ආරක්ෂා සහිතව වෙනත් තැනක රඳවා තබා ගැනීමටත් පියවර ගන්නා ලෙසටත් ඇයට සිදු වු අසාධාරණයට එරෙහිව ඊට සම්බන්ධ පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඇගේ සැමියා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහි වග උත්තරකරුවන් ලෙස එහි කම්කරු අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය බාරයේ ඇති ‘සුරක්ෂා‘ නිවසේ තිදෙනෙක් නම් කරනු ලැබ සිටිති.
එහි කම්කරු අංශයේ පරිපාලන නිලධාරීන් නීති්‍යානුකූලව කටයුතු නොකිරීමෙන් තම බිරිඳට නීතියේ හා යුක්තියේ රැකවරණය ලැබීමට තිබු අවස්ථාව අහිමිකර ඇතැයි ඔහුගේ පැමිණිලලේ දැක්වේ.
ඇයට සිදු වු අසාධාරණය ලෙස ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ ඕමානයේ විදේශ සේවයේ නියුක්තව සිටි ඔහුගේ බිරිඳ ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් කෙළෙසා අනතුරුව ඕමානයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පවත්වාගෙන යන ‘සුරක්ෂා‘ නිවසේ භාරයට පත් කර ඇති බවයි.
ඇය දූෂණයට ලක් කිරීමෙන් ගැබ්ගෙන ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති ‘සුරක්ෂා‘ නිවසේ නිලධාරීන් ඇයට පහරදී තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක් කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
මෙය සිදු කර ඇත්තේ ඇය සේවය කළ නිවසේ අරාබි ජාතිකයාගෙන් මුදල් ලබා ගෙන ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා බව ඔහු එහි පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ඕමානයේ මස්කට් නගරයේ පොලිසිය එම අරාබි ජාතික හාම්පුතාට සහ ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරියට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් තවදුරටත් ඇය සුරක්ෂා නිවසේ රඳවා තිබීම ඇයගේ ජීවිතයට තර්ජනයක් බවද සඳහන් කර ඇත.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාද මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් ඔහුද ජුලි 31 දිනට පෙර කොළඹට වාර්තා කරන ලෙස කැඳවීමක් කර ඇත.

