ඕමාන ගබ්සා සිද්ධි : තානාපති කමිටුවට ‍නොඑයි


ඕමානයේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක ඕමාන් හාම්පුතා අතින් අතවරයකට ලක්වීමෙන් පසු ඇයට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පත් කළ කමිටුව හමුවට ඕමානයේ හිටපු තානාපති අශෝක ගිරිහාගම මහතා අද (15)  කැඳවා තිබුණත් ඔහු එහි නොපැමිණි බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ආරංචි කියයි.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරියකු, විදේශ අමාත්‍යංශයේ නිලධාරිනියක සහ සහකාර පොලිස් අධිකාරීවරියක එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.

එම කමිටුව සති දෙකකට පමණ පෙර ඒ ගැන විමර්ශනයට ඕමානයට ද ගියේය.

ඕමානයේ දූෂණ හා ගබ්සා සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් ද එම කමිටුව හමුවට කැඳවා තිබුණත් කිසිම මාධ්‍යවේදියකු සහභාගී වී තිබුණේ නැත.

ඕමානයේ හිටපු තානාපති අශෝක ගිරිහාගම මහතාට ද අද (15) උදේ එම කමිටුව හමුවේ ප්‍රකාශ දෙන ලෙස දන්වා තිබුණ ද ඒ මහතා සහභාගී වී නොතිබිණි.

විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ තානාපතිවරයකු එවන් කමිටුවක් හමුවට කැඳවීම වැරදි පූර්වාදර්ශයක් බවයි.

මේ අතර එම කමිටුවේ සාමාජිකයකු ප්‍රශ්නයට මැදිවී සිටින කාන්තාවගේ සැමියා කැඳවා ඔහුට ලියුම් දුන්නේ කවුරුන්ද යන්නත්, සිද්ධිය ගැන පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසමට යෑමට පාර කිව්වේ කවුරුන්ද යන්නත් විමසූ බව සැමියා කියයි.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංඛ එන් විජේරත්න මහතාගෙන් මේ ගැන විමසූ විට තවම පරීක්ෂණය අවසන්ව නැති නිසා තොරතුරු කිව නොහැකියැයි කියා දුරකතනය විසන්ධි කළේය.

මේ ගැන විමසීමට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිපවිටක්ම උත්සාහ කළත් නොහැකි විය.