ඕනෑම වේලාවක ප්‍රකාශයක් දෙන්න සූදානම්: මා ළඟත් තොරතුරු රැසක් තියෙනවා


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.

පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් දීම තමාගේ යුතුකම බව කී පොලිස්පතිවරයා රහස් පොලිසිය ඉදිරියේ දී තමාගෙන් ද ප්‍රකාශයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තමා සතුව තොරතුරු රැසක් තිබෙන බව ද පොලිස්පතිවරයා කීය.

මේ සිද්ධිය පිළිබඳ විමර්ශන රහස් පොලිසිය ඉතා සාර්ථකව කරගෙන යන හෙයින් සිද්ධියේ සුලමුල වැඩිකල් නොගොස් අනාවරණය වනු ඇතැයි ද පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සූදානම් වන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදීය.