ඕනෑනම් යළි එන්න පුළුවන් - චන්ද්‍රිකා


‘සම්පත් සූරාකමින් රට වනසන සෙල්ලම වෙනස් කරන්න ඕනෑ. විපක්ෂය ඊට සූදානම් නැත්නම් මිනිසුන් ඒ වෙනස ඇති කරාවි. ඉක්මනට ඔක්කොම පෙරළා දමා බෙලිත් කපා වෙනස් කරාවි. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ඒ වෙනස නොකළොත් මිනිසුන් ඒ වෙනස කරාවි. ලෝක ඉතිහාසයේ එසේ වී තිබෙනවා. විප්ලව ඇති වන්නේ ඒ විදියටයි.‘ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය උඩවලවේ දී එසේ ප්‍රකාශ කළාය.

‘දේශපාලනය කරන අය තේරුම් ගත යුතුයි ,මැරෙනතුරු, රෝද පුටුවෙන් ගිහින් හරි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා හෝ, තුන් හතර සැරේ බලයේ නොසිටිය යුතු බව . මම ජනපති වූ ගමන් දරුවන්ට පොරොන්දු වූයේ දෙවරක් පමණක් ජනපති වන බවයි. ඉන් පසු ගෙදර යන බවයි. පක්ෂයෙන් මට කිව්වා කැමැතිනම් ව්‍යවස්ථාව වෙනස් කර තුන් වැනි වරත් බලය ගන්නා ලෙස. එය කීයටවත් නොකරන බව මා ඔවුනට කිව්වා. දැන්නම් කවුදෝ ඒක වෙනස් කරලා. ඒ නිසා ඕන නම් මට දැන් ආයෙ එන්නත් පුළුවන්. (සභාවෙන් අත්පොලසන්)

අත්පොලසන් දෙන්න එපා. මම එහෙම තීන්දුවක් අරගෙන නෑ. මම කියන්නේ දෛවය කැරකිලා එන විදියයි. ‘ කුමාරතුංග මහත්මිය එසේ ද කීවාය.