ඔසප් වීම පිළිබඳ සමාජ අපවාද නිසා කාන්තාවන් දුක් විඳිනවා


(යොහාන් භාසුර)


අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය පිළිබඳ සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බවත්, එයින් ඔවුන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  පැවසුවාය.

"ඔසප් දරිද්‍රතාවයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය" යන තේමාවෙන් කොළඹ ගෝල්ෆේස්  හෝටලයේ අද (27) පැවති Period Proud 2025" සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

කාන්තාවන්ගේ මාසික ඔසප්වීම අපහාසයට ලක්විය යුතු කරුණක් නොවන බවත් එය ස්වභාවික සංසිද්ධියක් වන අතර ඔසප් සෞඛ්‍යය සහ ඔසප් දරිද්‍රතාවය යනු  හුදෙක් සෞඛ්‍ය ගැටලුවක්  පමණක් නොව, ගරුත්වය, සමානාත්මතාවය සහ මානව අයිතිවාසිකම් හා බැඳුණු කාරණයක් බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.


ත්‍රිකුණාමලය, මහනුවර සහ කොළඹ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ  නවතම සමීක්ෂණ වාර්තාවක් අනුව පාසල් සිසුවියන් රැසකට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමැතිවීම හේතුවෙන් ඔවුන් පාසල් යාම මගහැරෙන බව හෙළි වී ඇති බවත් එසේම බොහෝ කාන්තාවන් අනාරක්ෂිත විකල්පවලට යොමු වීම  ඉතාම අවධානම් සහගත තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.