(ඩයනා උදයංගනී)
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) පැවසීය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට පසුගිය වසරේ ජූලි 4 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇතැයි ඇමතිවරයා කීවේය.

