ඓතිහාසික අවස්ථාව නාස්ති කරන්න එපා යයි සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉල්ලයි


(සැකසුම හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් වෙනස් පියවරක් අනුගමනය කිරීමට සූදානම් වන බව පෙනී යන නමුත් පුළුල් සහ ශක්තිමත් උපායමාර්ග අනුගමනය නොකළහොත් විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ලබාගත් ජයග්‍රහණ හුදු මායාවක් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.
 
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් පවතින මන්දගාමී ස්වභාවයත් පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් උපායමාර්ගයක් නොමැතිකමත් නිසා දිගු කාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට සමගාමීව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා අද (3) පැවසීය.
 
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත.මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවරයාට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යලයයි.
 
මෙහිදි තවදුරටත් අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් රාද් හුසේන් කුමරු මෙසේ ද පවසා තිබේ.
 
“මාස හතකට පෙර අපි සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කළා. යුද්ධය සමයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එහි සඳහන් වුණා. ශ්‍රී ලංකාව සත්‍ය වශයෙන් මූලික වෙනස්කම් රැසක් සිදු කිරීම සඳහා ලැබී ඇති ඓතිහාසික අවස්ථාව නාස්ති නොකරන්නැයි මා ශ්‍රී ලංකා රජයටත්   අවධාරණය කරනවා.
 
ශ්‍රී ලංකාවට උදාවී තිබෙන අවස්ථාව නැති කර නොගත යුතුයි. යුක්තිය සහ සංහිඳියාවය මූලිකත්වය සහ ප්‍රමුඛත්වය දී අතීතයේ සිදු වූ බිහිසුණු සිදුවීම් නැවත සිදු නොවීම සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් හා එරට ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා” යැයි  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.