ඒත්තුකාල මූහුදේ තිදෙනක් සැඟ වෙති


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ඒත්තුකාල වෙරළ තීරයේ අනාරක්ෂිත ස්ථානයක දියනෑමට ගිය තරුණයන් පිරිසකගෙන් තිදෙනකු අද 23 දහවල් අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ චන්දුපුරම් කොස්ලන්ද පදිංචි සත්‍යවේල් සිරිවින් 23, එලාලි බටහිර චුන්නාකම් පදිංචි ගිය ගත් ජෙගදීස්වරන් ජයලත් සාමි 23 සහ ඩයගම හැටන් පදිංචි වඩිවේල් අරවින්ද කුමාර 20 යන තිදෙනා බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

කටුනායක 18 කනුව ප්‍රදේශයේ ඇගළුම් කම්හලක  සේවයේ නිරත දස දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ඒත්තුකාල වෙරළ තීරයේ දිය නෑමට පැමිණ ඇත.

මෙසේ පැමිණි පිරිස පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානයට පරිබාහිර ස්ථානයකින් දියඹට බැස ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එසේ දිය දියනාමින් සිටියදී මෙම තිදෙනා රළ පහරකට ගොදුරුව ගසාගෙන ගොස් ඇතැයි ද ඒ බව සැලවීමෙන් පසු ඒත්තුකාල වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් ඔවුන් බේරාගැනීමට උත්සාහ ගෙන ඇතත් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත .

මුහුදු රළට හසුව ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබඳව මීගමුව පොලිසිය මගින් පරීක්ෂණ පවත්වනු ලැබේ.