ඒ පාර යකඩ කට විභාග අවුල් කරයි


ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයය ඉදිරිපිට අද (26)  පැවති විරෝධතාව නිසා වාර විභාගය කරන සිසුනට බාධා වීයැයි ලංකා ගුරු සංගමය පැවසීය.

දෙවැනි වාර විභාගයේ තොරතුරු තාක්ෂණය සහ ගෘහාර්ථික විද්‍යාව විෂයන් සිකුරාදා පැවැති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර පවා භාවිත කරමින් උද්ඝෝෂකයන් කෑ ගැසූ බවත්, ඒ නිසා විභාගය ලියන සිසුනට බාධා සිදු වුණ බවත්, ඔවුන් විභාගය ලියා අවසන් කර ගේට්ටුව අසලට පැමිණියත් උද්ඝෝෂකයන් ගේට්ටුව වසාගෙන සිටීම නිසා 1.30 වන තෙක් සිසුනට පිටවිය යාමට නොහැකි වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

රජයේ උසස් නිලධාරියකුගේ බිරියක් පවා මේ විද්‍යාලයයේ ගුරුවරියක ලෙස සේවය කරන බවත්, ඇය ඇතුළු ඇතැම් ගුරුවරුන් පාසලට එද්දී වාහන පරීක්ෂා කරන බවත්, දහවල් 1.30 වන තුරු ගේට්ටුව වසාගෙන සිටි නිසා ඒ ඇතුළත කාලයේ ගුරුවරුනට එළියට ඒමට නොහැකි වූ බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

නිසි පත් වීම් ලැබී එන විදුහල්පතිවරුන්ට බාධා කිරීම් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී දුටු බවත්, යාපනේ වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයය සහ බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයය ඊට උදාහරණ බවත්, බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයයේ නව විදුහල්පතිට සාධාරණය ඉෂ්ඨ කර ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට පවා සිදුවූ බවත්,  නව විදුහල්පතිට රාජකාරි බාර ගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මැදිහත් විය යුතු බවත් ඒ මහතා කීවේය.

පාසලේ අභ්‍යන්තර පරිපාලනයට ඇඟිලි ගැසීමට ආදි සිසුන්ටවත්, පාසල් සංවර්ධන සමිතියටවත් නොහැකි බව ද හේ කීවේය.