ඒ.එස්.පී ඇතුළු එස්.ටී.එෆ් 12ක් රිමාන්ඩ්


විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හතර දෙනකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුවකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමල වරාය පොලිස් වසමේ මුහුදු වෙරළේදී වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට   පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කොස්තාපල්වරුන් 11 දෙනකු ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන් අනුරාධපුර බන්ධනාගායේ රඳවා තබන ලෙස  ද නියෝග කැරිණි.

අත්අඩංගුවට ගත් වාස් පෙරේරා නම් සහකාර පොලිස් අධිකාරීවරයා එවකට පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇත.

වෙඩි තබා මරා දමා තිබුණේ මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍ය තංගතුරායි සිවනාදන් හා උසස් පෙළ විභාගයෙන් පසු සරසවි වරම් අපේක්ෂාවෙන් සිටි යෝගිතසාන් රොහාන්ත්, ශන්මුගරාජා සජීන්තිරන්, මනෝහරන් රාජිහාර් සහ යෝගරාජා හේමචන්ද්‍රන්  යන පස් දෙනායි. ඔවුහු 1985 වසරේ උපත ලැබුවෝ වෙති.

ත්‍රිකුණාමලයේ නැව් තටාංගනයට හා ෆෙඩ්රික් කොටුවට අසළ වෙරළේ මේ පිරිස විනෝද වෙමින් සිට ඇත.

එම අවස්ථාවේ ඔවුන් පසු කර  ත්‍රීරෝද රථයක් ගොස් ඇති බවත්, ඒ සමගම බෝම්බයක් පිපිරී ඇති බවත්, ඉන් පසු ආරක්ෂක අංශයක බව කියන වාහනයකින් පැමිණි පිරිසක් ඔවුනට හිරිහැර කර වෙඩි තබා ඇති බවත් වාර්තා විය.

ඔවුනගෙන් තිදෙනකුගේ හිසටත්, අනිත් දෙදෙනාගේ පපුවට හා උදර ප්‍රදේශයටත් වෙඩි වැදී තිබිණි.

එතැන සිටි තව දෙදෙනකු මුලින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැරුණු සැකකරුවන් සහ තවත් සැකකරුවෙක් 2006දීම අත්අඩංගුවට ගෙන සාක්කි නැති කමින් නිදහස් කැරිණි.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඔහු දැන් ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කරන බව දැනගන්නට ඇත.

මෙම ඝාතන සිද්ධිය මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)