එලීලන්ගේ බිරිය ජගත් පරීක්ෂණයක් ඉල්ලයි


මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන සිදුවූ බිමේ දී මිය ගිය සාමාන්‍ය වැසියන් සුදුසු අවස්ථාවේ දී ස්මාරකයක් ඉදි කළ යුතු යැයි කියන යෝජනාවක් උතුරු පළාත් සභාවේ දී සම්මත විය.

මන්නාරමේ සමූහ මිනීවලේ ඇටකටු පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යා විශේෂඥයකු කැඳවන්නැයි කියන තවත් යෝජනාවක් ද සම්මත විය.

කොටි සංවිධානයේ නායකයෙකු වූ එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මන්ත්‍රිනිය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ ‘සමූල ඝාතනය‘ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

‘සමූල ඝාතනය‘ යන වචනය පාවිච්චි නොකරන ලෙස මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඇයට උපදෙස් දුන්නේය.

යෝජනා තුනම සම්මත විය.