එල්ලේ තරගාවලියෙන් පසු මරණ තර්ජන එල්ල වෙයි


පසුගිය 25 වෙනිදා නාපෝලි නගරයේ පැවැත්විමට නියමිතව තිබු ආන්දෝලාත්මක එල්ලේ තරගාවලියේ උණුසුම තවත් පහවගොස් නොමැත. මෙම තරගාවලිය සදහා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි වන බවට සංවිධායකයින් ඉතාලිය පුරා ප්‍රචාරය කළ නමුත් ඔහු ඊට කලින් පැමිණ ගියේය.

ඒත් සමග ඔවුන් නොයක් නගරවලින් ශ්‍රි ලාංකිකයින්ට මේ තරගාවලියට සහභාගි වීම සදහා රෝමයේ තානාපති කාර්යාලයෙන් නොමිලේ බස් රථ 12 ක් ඉල්ලා සිටි බවත් ඒ සදහා එකගත්වය පළකර සිටි බවත් නාපොලි නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාව කියයි.

තරුණයින් පිරිසක් විසින් පෞද්ගලිකව සංවිධානය කරන එල්ලේ තරගාවලියක් වෙනුවෙන් රටේ විශාල මුදලක් නාස්ති කිරිමට විරුද්ධව තම සංවිධානය ජනාධිපතිට ලිපියක් යොමුකළ බවත් වැඩබලන තානාපතිනි ගෝතමී ඉඳිකඩහේන මහත්මියටත් ඉල්ලිම පිට එහි පිටපතක් යොමුකල බව එම සංවිධානය කියයි.

මේ අතර නාපොලි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඈන්ටනි රණසිංහ මහතා කියනුයේ තමාටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධරයින්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවත්  ඒ පිළිබඳ පරීක්ෂණ ඉල්ලා තම සංවිධානය විදේශ ලේකම්ට  යොමු කළ බවත්ය. මේ පිලිබදව විමසීමට ගෝතමි ඉදිකඩහේන මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කරගෑනිමට උත්සහ කළද එය සාර්ථක නොවිය.