එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් අද (3) නියෝග කරනු ලැබීය.
ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් එරට නීතිපතිවරයාගේ කාර්යාලය සැකකරුවන් 12 දෙනාට අධිචෝදනා ගොනු කර තිබිණි.
1999 වසරේ සිට 2009 වසර දක්වා ඔවුන් එලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
ස්විට්සර්ලන්ත නීතිපතිවරයාගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් අවුරුදු නවයක් මුළුල්ලේ විමර්ශන පැවැත්වූ අතර සැකකරුවන් 12 දෙනා ‘ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (ඩබ්ලිව්.ටී.සී.සී)’ වෙත මූල්‍ය සහාය ලබා දී ඇතැයි ද චෝදනා කළේය.
එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඩබ්ලිව්.ටී.සී.සී අතර සම්බන්ධයක් නැතැයි 2018 වසරේ ජූනි මාසයේදී ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය විසින් අනාවරණය කරගනු ලැබීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ද විනිසුරුවරුන්ට එම අවස්ථාවේදී හැඟී ගොස් තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී ස්විට්සර්ලන්තයේ නීතිපතිවරයාගේ කාර්යාලය අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර චූදිතයන් අපරාධ සංවිධානයකට සහාය දක්වා ඇතැයි ද එම කාර්යාලය එහිදි සඳහන් කළේය.
අභියාචනය සැලකිල්ලට ගත් ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය එරට දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය පිළිබඳව සඳහනක් ද කරමින් කලින් දුන් නියෝගය අද (3) නැවත තහවුරු කර තිබේ.
‘මාෆියා’ ආකාරයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වගන්තිය නිර්මාණය කර තිබෙන අතර මීට පෙර අවස්ථාවලදී එම නීතිය අල්කයිඩා සහ අයි.එස් යනාදී ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව ද යොදාගෙන තිබේ.
අරමුදල් රැස් කරන සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ද ෆෙඩරල් අධිකරණය තීන්දුව දෙමින් ප්‍රකාශ කර ඇත.
ස්විට්සර්ලන්තයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් සපයාදුන් පිරිසට ඔවුන් පසුකාලීනව නීතිය උල්ලංඝණය කරනු ඇතැයි උපකල්පනය කිරීමට හැකියාවක් නොතිබූ බව ද අධිකරණය සඳහන් කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළ ද එම සංවිධානයේ මූලික අරමුණ වී තිබූණේ ස්වාධීන නිදහස් වාර්ගික ජන ප්‍රජාවක් ලෙස හඳුනාගැනීම යැයි ද සඳහන්ව තිබේ.
‘ස්විස්ඉන්ෆෝ’ ඇසුරිනි
055



