
(තිසර සමල්)
රජයේ ආධාර යටතේ එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට ලබාදුන් නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් වසර ගණනක් තිස්සේ දිරාපත්වන්නට ඉඩ හැර තිබියදී සොයාගත් බව නව නිලධාරී මණ්ඩලය කියයි.
එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් වීමෙන් පසු පැවැත් වූ ශ්‍රමදානයක දී එහි ගබඩාවක දමා අගුළු දමා තිබියදී නව නිළධාරීන් විසින් සොයා ගනු ලැබීය.
101 ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) දවස පුරා පැවැත්විණි. ‘‘සහයෝගයෙන් ගොඩනගමු‘‘ යන තේමාව යටතේ පැවති එම ශ්‍රමදානයට එම සමූපකාර සමිතියේ නිළධාරීහු හා සේවකයෝ මෙන්ම, සමූපකාරයේ සාමාජිකයෝ ද ඊට සහභාගී වූහ.
පසුගිය දිනක පැවති එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිළවරනයෙන් නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එස්.එම් දිල්ෂාන් ප්‍රසන්න කුමාර මහතා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සියලු සාමාජිකයන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වෙමින් එප්පාවල විවිධ සේවා සමූපකාරයේ 100% ක බලය ජාතික ජන බලවේගය හිමිකර ගත්හ.
ඉන් අනතුරුව එම නව නිළධාරී මණ්ඩලය විසින් ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය ලෙස එම කාර්යාල භූමිය ශුද්ධ පවිත්‍ර කර , ගොඩනැගිලි තීන්ත ආලේප කර එප්පාවල විවිධ සේවා සමූපකාරය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) පැවැත්වූහ.
එහිදී එම කාර්යාල භූමියේ තිබූ ගබඩා දෙකක් විවෘත කිරීම සිදු වූ අතර, එක් ගබඩාවක් තුළ වටිනා වානේ ලිපි ගොනු අල්මාරී 10 කට වැඩි සංඛ්‍යාවක්, මහණ මැෂින් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් භාවිතයට නොගෙන විනාශ වීමට ඉඩ තබා ඇති අයුරු දැක ගත හැකි විය.
තවත් ගබඩාවක් විවෘත කර බැලීමේදී එහි පසුගිය කන්නයේ නිෂ්පාදනය කළ බිත්තර වී බුසල් 560ක්, රජයේ ආධාර ලෙස ලැබී භාවිතයට නොගෙන පැත්තකට දමා තිබූ නවීන තාක්ෂණයෙන් යුතු බිත්තර වී සැකසුම් යන්ත්‍රයකුත් දැක ගත හැකි විය.


