එන්නත විසවී තරුණයෙක් මරුට


(නිමන්ති රණසිංහ)

ඖෂධයක් එන්නත් කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය  නියෝගයක් නිකුත් කළාය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ දෙමටගොඩ පාර, කොළඹ 09 ලිපිනයැති ආයුර්වේද වෛද්‍ය හොමොමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් යන අයගේය.

මෙම තරුණයාගේ කෙටි පශචාත් මරණ පරික්ෂණ තීන්දුව විවෘත තීන්දුවක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දෙනු ලැබ ඇති බවත්, ඔහුගේ මරණය සැක සහිත බවට මරණකරුගේ මව පැමිණිලිකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම එන්නත ලබාදුන් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම මරණය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල යොමුකර ඇත්තේ අයි.ඩී.එච්. රෝහලෙන් බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.