එදා වතුරට උපවාසේ : අද වතුර පිපාසේ


රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම දැන් වලංගු නොවන බවත්, ගැම්වාසීන්ට ගිවිසුම් අවශ්‍ය නැතිනම් තමන්වහන්සේ සිටින්නේ ද එම මතයේ බවත් ගල්ඔළුව සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.

වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් කම්හලේ ප්‍රශ්නයේදී  වැලිවේරිය ජනයා වෙනුවෙන් එදා උපවාස කර වීරවරයකු බවට පත් වු තෙරිපැහැ සිරිධම්ම හිමි කම්හල සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව හිටි ගමන් ප්‍රදේශයෙන් බැහැරට වැඩම කර දෙසතියකට පමණ පසු අද යළි බැලුම්මහරට ත්‍රිරෝද රියකින් පැමිණ එතැන් සිට රතුපස්වල ක්‍රීඩා පිටිය දක්වා තනිවම පයින් වැඩම කළේය.

පෙරදින ගම්පොල දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තමන් සමඟ ගමනට එක්වන්නැයි කම්හල අවට ජනයාට ඇරැයුම් කලත් මාධ්‍යවේදීන් හැර අන් කිසිවකුත් එහි පැමිණ නොසිටියේය.

සිරිධම්ම හිමියන් රතුපස්වල ක්‍රීඩා පිටියට ලගාවත්ම ත්‍රීරෝධ රථ කිහිපයකින්  සහ වෙනත් වාහන කිහිපයකින් පැමිණි පුද්ගලයෝ  පිරිසක්ද  උන්වහන්සේගේ පා ගමනට එක් වුහ.

මේ අතර ක්‍රීඩා පිටිය ඉදිරිපස පොලිස් රැකවල් යොදා තිබුන අතර  ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ කාර්‍යාල වල සේවය කරන්නෝද එහි වුහ.

 ගැමියෝ පිරිසක්ද එහි සිටි නමුත් සිරිධම්ම හිමියන්ගේ පාගමනට ඔවුන් එක් වුයේ නැත.   ගැමියෝ පැවසුවේ සිරිධම්ම හිමියන් සමග පැමිණ පිරිස පිටස්තර පුද්ගලයන් බවයි.  

මේ අතර එහි පැමිණ සිටි ගැමියෝ  පැවසුවේ  සිරිධම්ම හිමියන් සමග කිසිදු පැටලිවිල්ලක් ඇති කරගැනීමට තරම් තමන් මෝඩ නොවන බවයි. එහෙත් ගැමියෝ  සිරිධම්ම හිමියන්ගේ   පාගමනට හෝ ක්‍රීඩා පිටියේ රැස්වීමට එක් නොවුහ.

සිරිධම්ම හිමියන් පෙර දිනක කම්හල වසන තෙක් නොනැගිටිමියි  පවසා  ක්‍රීඩා පිටියේ මාරාන්තික උපවාසයෙහි යෙදී සිටි   ස්ථානයට වැඩම කර  එහි බුදු මැදුර වැද නමස්කාර කළේය.

අනතුරුව උන්හන්සේ  මාධ්‍ය ඇමතීමෙන් අනතුරුව  ක්‍රීඩා පිටිය ඉදිරිපස සිටින ගැමියන් අතරට සිනහවක් නගමින්  වැඩම කළේය. නමුත්  කිසිදු ගැමියෙකු උන්වහන්සේව යළි   පිළිනොගත් අතර පිරිසක් ඉවත බලගනිද්දී  තවත් පිරිසක්  උන්වහනසේව මග හැර ගියහ.

පසුව සිරිධම්ම හිමියන් එහි තිබු ත්‍රීවිලරයක නැගී  ගල්ලොළුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානය වැඩම කළේය. 

.

(ඡායාරූප දීපා අධිකාරි)

 

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)