එජාපෙන් පත් කළ නිලධාරීහු ආණ්ඩුවට පස්ස හරවති


රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

එම ප්‍රධානීන් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේමය.

අලුතින් ප්‍රධානීන් පත් කිරීම සඳහා ඔවුනට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

ආයතන ප්‍රධානීන් 150 දෙනකු අද කැඳවා තිබුණු බවත්, එම කැඳවීම අනුව 45 දෙනකු සහභාගී වී ඇති බවත්, එම රැස්වීම අද පස්වරු 1.30 පමණ වන තෙක් පැවැති බවත් දැනගන්නට තිබේ.

එහි දී ඉල්ලා අස්වීමට එකඟ වී ඇත්තේ එක් ප්‍රධානියකු පමණි.

ආයතන ප්‍රධානීන්ගේ තර්කය වී ඇත්තේ තමනට පත්වීම් ලබා දුන් භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් වුවහොත් තමන් ද ඉල්ලා අස්වන බවයි.