එජාපයට ගිය අයට එරෙහිව විනය පරීක්ෂණ


(විනීතා එම් ගමගේ)


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කරමින් ඊට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය  පරීක්ෂණ පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.


පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෙරේදා (18) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව කී මන්ත‍්‍රීවරයා ආණ්ඩුවේ කිසිදු ඇමති කමක් භාර නොගන්නට  එහි දී තීරණය කළ බව ද සඳහන් කළේය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් එජාප විරෝධී පෙරමුණක් හදමින් සිටින අවස්ථාවක පිදුරු ගහේ එල්ලී සිටින එජාපයට ඔක්ෂිජන් දෙන්නට තැත් කරන ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ගැන විනය පරික්ෂණ පැවත්වීමට ඒකමතිකව තීරණය වී යැයි ද අලූත්ගමගේ මහතා කීය. 


දෙමළ ජාතික සන්ධානයේ පිහිටෙන් ආණ්ඩු හැදීමට කටයුතු කළ එජාපයට එයින් මිදී බහුතරය පෙන්වීමට හැකිවන්නේ එහි එක්වන ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් නිසා බවත් එසේ ඔවුන්ට එක්වීම මහා පාවාදීමක් වන බවත් හෙතෙම කියා සිටියේය. 


මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.