එජාපය ‘පශ්චාත් මරණ පරීක්ෂණයක්‘ පවත්වයි


මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය යම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල පුළුල්ව සහ දීර්ඝ ලෙස අධ්‍යනය කරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතික පක්ෂය වහාම ක්‍රියාකරමින් සිටින්නේ යැයි ද ඔහු පවසයි.

 2009 මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයේදී මහනුවර ,මාතලේ ,පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික් වලින් ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සහ ආසන සංඛ්‍යාව මේ පළාත් සභා මැතිවරණයේදී එලෙසම රැකගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කරයි.

‘ආණ්ඩුවේ භීෂණය , මර්දනය සහ මැර තර්ජන ඇතුළු අභියෝග ගණනාවක් මධ්‍යයේ මධ්‍යම , වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් සියලුම ජනතාවට අප අපගේ ස්තූතිය ගෞරවය සහ ආචාරය පුද කරනවා.

 උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සාධාරණ සහ අපක්ෂපාතීව පැවැත්වීමට මුල සිටම ක්‍රියා නොකළ ආණ්ඩුව හමුදාව යොදවා එම ජනතාවට විවිධ බලපෑම් සහ තර්ජන එල්ල කලා. එමෙන්ම උතුරේ ආරක්ෂක හමුදා මූලස්ථානයක් යොදාගෙන ආණ්ඩුව කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් පාවිච්චි කරමින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරිමක් බව කිව යුතුයි.

උතුරට මෙසේ හමුදාව යොදවා බලපෑම් එල්ලකරමින්ද කොටි ත්‍රස්තවාදී නායකයින් පාවිච්චි කරමින් විවිධ උපක්‍රම යොදාගෙන බලපෑම් එල්ලකරමින්ද ආණ්ඩුව උක්සාහ කලේ උතුරේ ජනමතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි.

මේ අතර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් සම්පත් සහ දේපොල ද රාජ්‍ය බලයද එම යාන්ත්‍රණයද උපරිමයෙන් පාචිච්චි කල ආණ්ඩුව දැයට කිරුළ ප්‍රදර්ශණය විවිධ දන්සල් සහ විශේෂයෙන් මත්පැන් දන්සල් සංවිධානය කරමින් එම පළාත් වල ජනතාවගේ ජනමතයට අයුතු ලෙස බලපෑම් කරමින් මැකිවරණ නීතිරීති උල්ලංඝණය කළා.

රාජ්‍ය දේපොල මුදල් සහ සම්පත් මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කිරීම තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කල චක්‍රෙල්ඛ කිසිවක් නොතකා ආණ්ඩුව රාජ්‍ය දේපොළ මුදල් සම්පත් සහ බලය උපරිමයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත්තා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් නොව ආණ්ඩුවේ මැතිඇමැතිවරු ගණනාවක්ම මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හෙලිකොප්ටර් යානා පවා නීතිවිරෝධී ලෙස පාවිච්චි කල අතර මේ තත්වය හමුවේ මැතිවරණ නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවෙන් ගැලවීමට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාටත් , මැති ඇමැතිවරුන්ටත් හැකියාවක් ඇත්තේ නැහැ.‘