එජාපය බලවත්ම කාලයේ සිටි මහ ලේකම් සමුගනී


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහ ලේකම්වරයා වන දහම් විමලසේන මහතා අද (09) අභාවප්‍රාප්ත විය.

එක්සත් ජාතික පක්ෂය 1977 දී බලයට පත් වන විට එජාප  මහ ලේකම් ධුරය දැරුවේ දහම් විමලසේන මහතාය. 

2001 වසරේදී කෙටි කලකට  පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කළ විමලසේන මහතා හැත්තෑව දශකයේ අගභාගයේ සිට වසර නවයක් පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.  

ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙකු වූ විමලසේන මහතා  අසූව දශකයේදී ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCSCSL) සභාපතිවරයා ලෙස කටයුතු කරන විට එහි උප සභාපතිවරයකු ලෙසද විමලසේන මහතා කටයුතු කළේය. 

 විමලසේන මහතා 1990 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ බාරකරු බවට පත් වූ අතර 2004-2013 දක්වා එහි සභාපතිවරයා විය. 

විමලසේන මහතාගේ දේහය කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10) හවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.