එජාප මන්ත්‍රීහු නාගොඩ රෝහලේ අඩුපාඩුත් බලති


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා¸ එරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා ආර් යෝගරාජන් යන මහත්වරුන්  අද  දිනයේ කලුතර නාගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ඔවුහු රෝහලේ කාර්යමණ්ඩලය හා රෝගීන් හමුවී රෝහලේ වත්මන් තත්ත්වය පිළිඹද විමසූහ.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ මාධය හමුවක් පැවැති අතර එහිදී මන්ත්‍රීවරු ඔවුන් සොයාගත් කරුණු හෙළි කළහ.

සාත්තු සේවක හිඟය¸ ඖෂධ හිඟය¸ රෝගීන් සදහා රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම¸ ආදී ගැටලු රෝහලේ පවතින බව හදුනාගැනීමට හැකිවූවේයැයි ඔවුහු පැවසූහ.

රෝහලේ ඇති විශාලතම ගැටලුව වන්නේ ඇදන් හිඟය බවත් එක් ඇදක රෝගීන් දෙදෙනෙකු සිටින අවස්ථාද ඇතැම් වේලාවන්හි තිබෙන බවත් රෝහල් කාර්යමණ්ඩලය තමන්ට පැවසූවේයැයි මන්ත්‍රීවරු කීහ.

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කඩදාසි කොළවල ලියැවී තිබෙන දේ කියවනවාට වඩා පොළවේ පය ගසා සැබෑ තත්ත්වය දැක ගැනීමේ අරමුණ ඇතිව තමන් ඇතුලු මන්ත්‍රී පිරිස රෝහලට පැමිණි බව කීවේය.

කලුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව යාබද දිස්ත්‍රික්ක වලින් පවා අති විශාල ජනකායක් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන කලුතර නාගොඩ රෝහලට ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව පෙනෙන්නට ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අදහස් දක්වමින් රටේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවක රජය වියදම් පියවා ගැනීමට ජනතාවට නොමිලයේ සපයන සේවාවන් වන සෞඛ්‍යය¸ සමාජ සේවා හා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර වලට සපයන මුදල් කප්පාදු කිරීමට කටයුතු කර ඇතැයි කීවේය.

රෝහලේ ගොඩනැගිලි අත්තනෝමතික ලෙස ඉදිකර ඇතැයි කියූ ආර් යෝගනාදන් මන්ත්‍රීවරයා එනිසා රෝගීන් එක් තැනක සිට තවත් තැනකට ගෙනයාමේදී රෝහල් කාර්යමණ්ඩලයට අධික වෙහෙසක් මෙන්ම කාලයක් වැය කිරීමට සිදුව ඇති බව ඔවුන් හා කළ කතාබහේදී අනාවරණය කර ගැනීමට හැකිවූවේයැයි පැවසුවේය.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ මන්ත්‍රී පිරිස දොඩම්ගොඩ බෝඹුවලදී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ගේ නිවසටද ගියහ.

නිවසේ කිසිවෙකුත් නොසිටි බවක් පෙනෙන්නට තිබුණද නිවැසියන් සැඟවී සිටින්නේයැයි පැවසූ අසල්වාසීන් ඔවුන් පිටතට කැදවා ගැනීමට සමත්වූහ.

කොස්තාපල් සුමින්ද සමන් නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිඳ මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දැක්වූවාය.

පෙරදා මහ රැයේ සිවිල් ඇදුමින් පැමිණි දෙදෙනෙක් තම සැමියා කැටුව යාමට උත්සාහ කළේ යැයි ඇය පැවසුවාය.

සාධාරණව සේවය කරන්නට ගිය තම සැමියාට දිගින් දිගටම සිදුවූයේ අකටයුතුකම් යැයි ඇය කීවාය.

කොස්තාපල් සුමින්ද සමන් මහතාට වන අසාධාරණයන්ට යුක්තිය ඉටු කර දීම සදහා කළ හැකි සියලුම දේ කරන බව මන්ත්‍රීවරු කියා සිටියහ.