කොළඹ වරාය සතු කොළඹ කොම්පඤ්ඤ වීදියේ භූමියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියකට බදු දුන්නැයි කියන ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට මෙම වෘත්තීය සමිතිය හෝ පොලිසිය අද (27) අපොහොසත් විය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් සිව් දෙනකු (රවී කරුණානායක, ආර්.යෝගරාජන්, අජිත්.සී.පෙරේරා හා නලින් බණ්ඩාර) බලෙන් හා අනවසරයෙන් එහි ඇතුළුවී යැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ චෝදනා නැගීය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ බැඳුම්කරයක් මත මන්ත්‍රීහු මුදා හැරුණාහ. වරාය භූමිය බදු දෙන ලෙස ඉල්ලා ශ්‍රීලනිප වෘත්තීය සමිතියෙන් කළ ඉල්ලීම හැරුණුවිට බදු දුන් බව කියන ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් විය.
සැකකාර මන්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ දේපොළක් කිසියම් පක්ෂයකට බදු දිය නොහැකි බවයි. රාජ්‍ය සම්පත් අයුතු ලෙස පාවිච්චි කරන බවට ලැබුණු තොරතුරක් මත මන්ත්‍රී කණ්ඩායම එහි ගිය බවත් මන්ත්‍රී වරප්‍රසාද අනුව එවැනි තැනකට යෑමට කිසිවකුගෙන් හෝ අවසර ගැනීම අනවශ්‍ය බවත් ඔහු කීවේය.
යෝගරාජන් මහතාගේ වාහනයට පහරදී අලාබ භානි සිදුකිරීම ගැන පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.





