එජාප මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ගැනත් සොයයි


මත්තල ගුවන් තොටුපොළට සහ හම්බන්තොට වරායට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් රාජකාරි හරි හැටි කළාදැයි විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවම වශයෙන් ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනකු බැගින් දී ඇති බවත්, මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ඇතොත් ඒ ගැන අදාළ පොලිසිවලට දැනුම් දීම එම ආරක්ෂකයන්ගේ වගකීම බවත්, එජාප මන්ත්‍රීන් සමග ගිය ආරක්ෂකයන් කිසිවක් දැනුම් දී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

‘පොලිසියට ලද තොරතුරකට අනුව තමයි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හම්බන්තොට වරායට ගිහින් තියෙන්නේ. එතැන සිට ඇත්තේ පොලිස් නිලධාරීන් 12 දෙනකු පමණයි. විරෝධතාවය දැක්වූ පිරිස අතර සියයකට අධික පිරිසක් සිටි බව කියනවා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඉන්න ප්‍රභූ ආරක්ෂකයන් මේ පිරිසට ආරක්ෂාවේ ගැටළුවක් තිබෙන බවට පොලිසියට දැනුම් දුන්නා නම් පොලිසිය එතැනට ගිහින් විශේෂ ආරක්ෂාවක් සලසනවා. නමුත් ඔවුන් එලෙස දැනුම් දී තිබේනේ නෑ.

පොලිසිය පැත්තෙන් අඩුපාඩුවක් සිදුවුණාද කියන එකත් අපි සොයා බලනවා.‘