එජාප මන්ත්‍රීන් හත්දෙනා යළි වාරණයක් ගනිති


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම පක්ෂයට පනවා තිබූ වාරණය ඉවත් කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා අධිකරණයෙන් දුන් නියෝගය අගෝස්තු පළමු වැනිදා දක්වා අත්හිටුවමින් එදින දක්වා වාරණය ක්‍රියාත්මක කරන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය අද නියෝග කළේය.

මොහොමඩ් ඉසැඩ් රෂීන් හා රෝහිණී වල්ගම යන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන මොහාන් ලාල් ග්‍රේරු, ලක්ෂ්මන් සෙනවිරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර ද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ සාමාජික ප්‍රභා ගනේෂන් හා ජාතික කම්කරු පෙරමුණේ සාමාජික පලනි දිගම්බරම් මහත්වරු ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණයට වෙන වෙනම පෙත්සම් ගොනු කළහ.

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂ තීරණය නොතකා රජය සමග ඡන්දය දීම නිසා ඔවුන් පක්ෂයෙන් නෙරැපීමට ගත් තීරණයට එරෙහිව ඔවුහු අධිකරණ පිහිට පැතූහ.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක, පක්ෂයේ උද්දේශික විනය කමිටුවේ ලේකම් අසේන්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන්  නම් කර තිබිණි.