ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (19) නියෝග කළේය.
එමෙන්ම ඇප ලබාදුන් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ ඇප ලැබූවෝ වෙති.
සෙසු සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සාජන් මේජර් වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි රිමාන්ඩ් භාරයේ පසුවෙති.
ඔවුන් සම්බන්ධයෙන් ඇප සලකා බැලීම ඔක්තෝබර් 24 වැනිදා සහ නොවැම්බර් 8 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.