එක්නැලිගොඩ ඝාතන වගකීම බුද්ධිඅංශයට?


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගනු ලැබූවේ හමුදා බුද්ධී අංශය මඟින් බව වගීකීමෙන් ප‍්‍රකාශ කරන බවත් ඒ සඳහා සාක්ෂි තිබෙන බවත්  එය සිදු කිරීමට මුල් වූයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස වෙස්වලා ගත් බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති සරත් ජයමාන්න මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කීය.

මෙම එල්ටීටීඊ වෙස් වලා ගත් බුද්ධී අංශ සාමාජිකයින් රාජගිරිය එක්නැලිගොඩගේ කාර්යාලයට පැමිණ ඔහු එලියට කැඳවාගෙනවිත් වාහනයකට දමා ඇස් බැඳ ගිරිතලේ  යුද හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවට හෙළිදරව් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

අදාළ පැහැරගැනීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද  අගවිනිසුරු කේ.ශ්‍රී  පවන්, උපාලි අබේරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු පැවසීය.