උතුරු මැද පළාතේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයන් වැඩි පිරිසක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වන තමාගේ බලය ද ඉක්මවා කටයුතු කිරීමෙන් පළාතේ අධ්‍යාපන පහත වැටී ඇති බව කියමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ අත්සන හොරට යොදා යැවූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අනුරාධපුර විශේෂ විමර්ශන ඒකකය කියයි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය මෙන්ම පළාත් අධ්‍යක්ෂවරියගේ අත්සන ද යොදා 2014.05.07 දිනැතිව ‘අධ්‍යාපනයේ ගුණාත්මක බව නැංවීම‘ යන ශීර්ෂයෙන් පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙත මේ ලිපිය යවා ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි..
එවැනි ලිපියක් විදුහල්පතිවරුන් වෙත යවා ඇතැයි දැනගත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතා හමුවී විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව අනුරාධපුර විශේෂ විමර්ශන අංශයෙන් පරීක්ෂණ ඇරැඹීය.
උතුරු මැද පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පළාත් දේශපාලනඥයින්ගෙන් වැඩි පිරිසක් නිසි අධ්‍යාපනයක් නොලැබූවන් වීම හේතුවෙන් හා ඔවුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ තනතුර ද ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් පළාතේ අධ්‍යාපනය පහත වැටී ඇති බව ද එම ලිපියේ සඳහන්ය.
රටේ ජනතාවගේ මුදලින් පාසල් තුළ ඉදි කරන සියලුම ඉදිකිරීම් කටයුතු දේශපාලනඥයන්ගේ පෞද්ගලික ධනයක් නොවන හෙයින් උතුරු මැද පළාතේ පාසල් තුළ සිදු කෙරෙන සියලු විවෘත කිරීම් හා උත්සව මින් ඉදිරියට නොකළ යුතු බවත්, මේ වන විට අවසන් කර ඇති සියලු ව්‍යාපෘති ලිපිය ලද දිනයේ සිට දරුදැරියන්ගේ ප්‍රයෝජනයට ගත යුතු බවත් එම ලිපියෙන් විදුහල්පතිවරුනට උපදෙස් දී ඇත.
පළාත් අධ්‍යාපනය දියුණු කිරීමේ පළමු පියවර ලෙස පාසල් ළමයින්ගේ අධ්‍යාපනයට බාදා වන පරිදි පාසල් තුළ දේශපාලන උත්සව නැවැත්වීමට කටයුතු යොදා ඇති බවටත්, කිසියම් පුද්ගලයකුගේ අවශ්‍යතාවක් මත එවැනි උත්සව සංවිධානය කළහොත් දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම ලිපියෙන් විදුහල්පතිවරුනට අවවාද කර තිබේ.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට හෝ පළාතේ දේශපාලනඥයන්ට නොකමැති බව කියන පිරිසක් එම ලිපිය මාධ්‍යවෙත ද යවා ඇතැයි දැනගන්නට ඇත.
කිසිදු දිනක තමා එවැනි ලිපයක් යවා නැති බවත්, සිද්ධිය දැනගත් විගස පොලිසියට පැමිණිලි කළ බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කෙරෙයි.

