ඌවේ බදු මුදල් කෝටි 17 ක් ගෙවීම පැහැර හැරලා


(සිරජ් හසීම්)

ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ බදු දී ඇති රජයේ  ඉඩම් අක්කර දහස් ගණනක වසර පහක් සදහා අය විය යුතු රුපියල් කෝටි 17කට අධික බදු මුදලක් පළාත් සභාවට අයවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙම තොරතුරු පළාත් ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වාර්තාවකින් අනාවරණය වී ඇති බව ද ඒ මහතා කියයි. 

මෙම වාර්තාව තුළින් 2012- 2016 වසර පහ තුළ බදු නොගෙවූ ආයතන හා අය විය යුතු මුදල් සම්බන්ධයෙන් පමණක් සඳහන්ව ඇති බවත් වසර ගණනාවකම සිට බදු ගෙවා නැති ආයතන පිළිබඳවද සොයා බලන්නේ නම් පළාත් සභාවට අහිමි වූ ආදායම ඉහත ආදායමට වඩා කිහිප ගුණයකින්ම වැඩිවන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. 

බදු මුදල් අයකර ගැනීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කර ඇත.

පළාත් ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් තම කොමිසම හරහා නොලැබුණු බදු මුදල මිලියන 6ක් බවත් ඉන් හරි අඩක්ම 2016 විශේෂ වැඩ පිළිවෙල යටතේ අය කරගෙන තිබෙන බවත් ඌව පළාත් ඉඩම් කොමිසමේ ජ්‍යෙෂ්ඨම ප්‍රකාශකයෙකු පවසයි.