ඌව වෙල්ලස්සේ ගොවිබිම්වල අයිතිය ඉල්ලා ලෙයින් අත්සන් 1144 ක පෙත්සමක්


(බිඟුන් මේනක ගමගේ) 

ඌව වෙල්ලස්ස ගොවි බිම්වල ඉඩම් අයිතිය ඉල්ලා පළාත්වාසීන්ගේ ලෙයින් අත්සන් කළ පෙත්සමට අත්සන් 1144 ක් ලැබී ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසයි.

මීට අමතරව මෙම ගොවි සටනට සහාය දක්වමින් භික්ෂූන් වහන්සේලා 500 නමකගේ අස්සනින් මහා සංඝ පෙත්සමක් ද අත්සන්  කළ බවත් එම පෙත්සම් කොළඹ ටෙක්නිකල්  හංදියේ සිට දැවැන්ත පා ගමනකින් ගොස් ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බවත් එම පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා  පැවසීය.

බහු ජාතික සමාගමට ඉඩම් ලබාදීම නවතනු, ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනු, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි භෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු යන ප්‍රධාන ඉල්ලීම් තුන යටතේ මෙම පෙත්සම් අත්සන්  කෙරුණු බව ද විද්‍යාරත්න මහතා කීය.

වසර සිය ගණනක් තිස්සේ ගොවි ජනතාව වගා කළ පාරම්පරික ඉඩම් අනවසර ඉඩම් හැටියට හඳුන්වමින් පෞද්ගලික සමාගම්වලට පැවරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කළ හෙතෙම එය සිදුවුවහොත් සමාගම්වල කුලී කම්කරුවන් බවට පත්වීමට වෙල්ලස්සේ ජනතාවට සිදුවනු ඇති බව අවධාරණය කළේය.

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් නමැති සමාගමට වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 500 ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇති බවත් එය ගොවි බිම් මහා පරිමාණයෙන් කොල්ලකෑමේ වෑයමක් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.