උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි


පරිපාලනයට විරෝධය පළකරමින් මරදාන අසෝක විද්‍යාලයය ඉදිරිපිට අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීහු රැසක් අද උදේ අසෝක විද්‍යාලයය ඉදිරිපිට සිටි අතර විරෝධතාවය පැමිණි ආදි සිසුහු පොලිසිය විසින් නැවත හරවා යවනු ලැබූහ.

ඡන්ද සමයේ මෙම විද්‍යාලයයේ බස් රථය ආණ්ඩුවේ දේශපාලකයකුගේ වැඩ සදහා ලබා දුන් බව කියමින් විදුහල්පතිට එරෙහිව ගුරුවරු රැසක් විරෝධතා පැවැත්වූහ.  ඒ උද්ඝෝෂණයෙන් පසු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් පාසලට පැමිණ විදුහල්පති තාවකාලිකව ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු පත් කරනු ලැබීය.

ඡන්දයෙන් පසු ප්‍රධාන  ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ පැවැත්වූ රැස්වීමකින් පසු නැවත හිටපු විදුහල්පතිම එම විද්‍යාලයට පත් කළේය.

විදුහල්පතිට අකමැති ගුරුවරුන් සිටින්නේ නම් ස්ථාන මාරු ඉල්ලන ලෙස අධ්‍යාපන බලධරයකු එදින කළ ඉල්ලීමක් අනුව ගුරුවරු රැසක් ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ගෙවුණු මාස තුන ඇතුළත එම විද්‍යාලයයේ ගුරුවරු 27ක් ස්ථාන මාරු කරනු ලැබූහ.

ඉතිරි ගුරුවරුන් ද ළගදීම ස්ථාන මාරු කිරීමට නියමිත බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.

විද්‍යාලයයේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට දේශපාලනඥයකු හමුවීමට එන්නැයි පාසලේ ශිෂ්‍ය නායකයන්ට දැනුම් දී තිබූ අතර දේශපාලනඥයන් සමග සාකච්ඡා කිරීමට අකමැති වූ ශිෂ්‍ය නායකයෝ කිහිප දෙනෙක් තනතුරින් ඉවත් වූහ.

මීට පෙර පාසල ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණයක දී ඉල්ල වූ ප්‍රහාරයකින් මවක තුවාල ලැබුවාය. මාධ්‍යවේදියකුට ද ප්‍රහාරයක් එල්ල විය.