
(අංජුල මහික වීරරත්න)
අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම් එය අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන් බව කී ටිල්වින් සිල්වා මහතා ඇප දෙන්නේ හෝ බන්ධනාගාර ගත කරන්නේ අධිකරණ තීරණය අනුව බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන්.එතුමා කරපු මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කර ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තියෙනවා.එතුමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණය දෙපැත්තේම කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නොවේ.
ඊට කවුරුත් කලබල වෙන්න ඕන නෑ. නීතිය එහෙමනේ .කවුරුන් හෝ වරදක් කළාම උසාවිය කරුණු සලකා බලා අවශ්‍ය නම් ඇප ලබා ලබාදෙනවා. නැතිනම් බන්ධනා ගත කරනවා.ඒක තමයි නීතියේ හැටි.
එතුමා හිරේ දාන්න ඕන කියලා පහුගිය කාලෙ බල කළේ දැන් එතුමා වටේ එකතු වෙලා ඉන්න කණ්ඩායම.2019 ජනාධිපතිවරණ කාලෙත් රනිල් හිරේ යවන්න ඕන කියලා රාජපක්ෂල කණ්ඩායම කිව්වා.දැන් එතුමගේ වටේ එකතුවෙලා ඉන්න කණ්ඩායමේ එකම ප්‍රාර්ථනය වුනේ එතුමා හිරේ යවන එක.
අපේ රටේ නීතිය කාටත් සාධාරණ වෙන්න ඕන.
අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම්,එක අපේ රටේ අධිකරණයට අපහාස කිරීමක්.ඒක නිසා අධිකරණයට අපහාස කිරීමේ කටයුත්ත සඳහාත් ක්‍රියා කිරීමට නීති අංශ කටයුතු කරාවි.
ඔය එකතු වෙලා ඉන්න අයගෙන් සීයට අනූවකට විතර නඩු තියනවා.අපරාධ කරපු අය දැන් අපරාධ වලින් ගැලවීමට එකතු වෙලා ඉන්නවා.සියලු අපරාධකරුවන් එක ගොඩකට එකතුවීමත් ජනතාවට තේරුම් ගන්න ලේසි වේවි.
ජනතාව මේ ගැන පැහැදිලි මතයක ඉන්නවා .කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට පමණක් නොව ජනාධිපතිවරුන්ට පොලිස්පතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ජනාධිපතිවරුන් වරදක් කළ විට නීතිය ක්‍රියාත්මක කරද්දී ඊට බාධා කරනවා නම් ඊට පස්සේ අපට කවදාවත් පාලනයේ ඉහළ අයට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.එහෙම වුණොත් පාලනයේ ඉහළ ඉහල අය නීති කඩන්න බය වන්නේ නැහැ යනුවෙන්ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

