උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂකවරු ජනපතිට ලියති


(සුජිත් හේවාජුලිගේ)
 
ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් අමතක කර ප්‍රබල ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකු ජාතික පොලිස් කොමිසම මගින් අසාධාරණ අන්දමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇතැයි සඳහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


උසස්වීම් ලැබු පිරිස අතර ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශවල සේවය කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් පසු දෙනකු ද සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු පිරිසක් පැවසුහ.


ඉහළ සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් එක් දහස් පන්සියයක් පමණ පොලිස් සේවයේ සිටියදී වසර පහ හයක කෙටි සේවා කාලයක් සහිත කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු දේශපාලන හිතවත්කම් අනුව යමින් මෙසේ ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් කිරිම අන්ත අසාධාරණ තීරණයක් බවත් උසස් කෙරුණු කනිෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් බොහෝ දෙනෙකු උප සේවයෙන් පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරුණූ අය බවත් ඔවුහු සඳහන් කරයි.