උමා ඔය පමා නොවී නවත්වනු


ඉරාන - ලංකා රජයන් යටතේ ඉදි කරමින් පවතින උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නවත්වන ලෙසත් නැතහොත් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගන්නා ලෙසත් ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජනපතිට සහ අගමැතිට ලිඛිතව පැමිණිලි කර ඇත.

වැලිමඩ ඌව පරණගම ප‍්‍රදේශවලින් ආරම්භ වී බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය හරහා දැනට  දීර්ඝ උමන් මං ඉදිකෙරෙමින් පවත්නා ඉරාන - ලංකා රජයන් යටතේ ක‍්‍රියාත්මක වන උමා ඔය ව්‍යාපෘතිය පරිසරය විනාශ කෙරෙමින් සිදු කෙරෙන්නක් බැවින් වහාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අත් හිටුවන ලෙස ඉල්ලමින් මාධ්‍ය හමුවක්ද බදුල්ලේ මාධ්‍යවේදීන් සහ අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් පිඩාවට පත්වු ජනතා එකමුතුව සංවිධානයේ නිළධාරීන් සමග  ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි පැවත්වීය.

‘‘උමා ඔය ව්‍යාපෘතිය ජනතාවගේ ඉල්ලීමක් නොමැතිව පසුගිය රජය ආරම්භ කර ඇතැයි මට දැනගන්න ලැබුණා. පරිසරය රැක ගැනීම පිළිබඳව කිසිම පිළිවෙතක් අනුගමනය කරලා නැහැ. දැනටමත් එගොඩගම, වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල, ආදි ගම්මානවල  ලිං 140 ක පමණ ජලය සිදී ගිහින්. පොළොව යට කරන කැණීම්, උමන් මාර්ග, ගල් වෙඩි පිපිරවීම් නිසා පොළොව මතු පිට නිවාස ඉරි තලා ගොසින්. බදුල්ල දිස්ත‍්‍රික්කය කාබාසිනියා කොට හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යහපත සැලසීම සාධාරණද?‘‘