ගලහ බෙල්වුඩ් ජනපදයේ අංක 80 ලිපිනයේ පදිංචි එල්.ජී.ශාලිකා නවෝදනී (31) 2013 වසරේදි පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්තද මේ දක්වා රැකියාවක් නොමැතිව තම ස්වාමියාගේ ගව ගාලට උදවු කරමින් ගව ගාලේම කොටසක තම සැමියා හා පුතුන් දෙදෙනා සමග දුෂ්කර ජීවිතයක් ගෙවන්නීය.
තම පුතුන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතය ගවයින් සමග පොර බදන්නට ඇය ධෛර්යය ගෙන ඇති අතර ඇගේ දෙමාපියෝ ද තේ දළු නෙළන්නන් වූහ. පියා අසනීපයකින් මියගොස් ඇති ඇගේ මව ඇයට වැඩිදුර අධ්‍යාපනය ලබාදී ඇති අතර උසස් පෙළින් පසු ඇගළුම් කම්හලක, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ඇය සේවය කර ඇත.
සිය සැමියා ද වසර 16ක් පුරා ගව පාලනය සිදු කරන බවත් මෙතෙක් තමා ඉල්ලුම් කළ කිසිදු රැකියාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් ඇය කියන්නීය.
‘ අපි පදිංචි වෙලා හිටපු මහත්තයගෙ අක්ක රට ඉඳන් ආවා. එයාට අපි ඒ ගෙදර දිල මහත්තයගෙ තාත්තගේ පැත්තේ තිබුණු හිස් ඉඩමකට පදිංචියට ඇවිත් දැන් වසරක් පමණ වෙනවා. මගෙ මහත්තයත් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියෙනවා. නමුත් එයා තම කරන්නෙ ගව පාලනය අක්කගෙ වාහනයකුත් එළවනවා .තවත් වාහන වල වැඩ කරනවා. අපි ඉන්නෙ අනුන්ගෙ ඉඩමක අපිට එයාල ගෙයක් හදාගන්න ඉඩක් දෙන්නෙ නෑ. අපි ගව ගාල හදාගෙන ඒ පැත්තක පුංචි සාලෙ අපි 4 දෙනාම ජීවත් වෙන්නේ. කොයි වෙලේ මේ ඉඩමෙන් යන්න වෙයිද දන්නෙ නෑ. අපිට හරක් දෙන්න ආධාර දෙන්න හදනව ගලහ පශුවෛද්‍ය එකෙන් නමුත් අපිට ඒ සත්තු අරන් අපි විදින දුක සතුන්ටත් දෙන්න බැරි නිසා මේ ඉන්න සත්තු 4 දෙනා නඩත්තු කරගෙන ජීවත් වෙනවා‘ යැයි ඇය කීවාය.
ඡායාරූප - චමිල් රූපසිංහ