වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කම්හලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ ගම්පහ විහාරාධිපති හිමිවරුන්ගේ සංගමය එක්ව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රතුපස්වල උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන විවේචනය කරද්දී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීමත් සමග එම සාකච්ඡාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර හිමිවරු සෙත් පිරිත් දේශනාවක් පවත්වා සාකච්ඡාව අවසන් කළහ.
විහාරාධිපති හිමිවරුන්ගේ සංගමය සහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරුන්ට අමතරව දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධරයෝ කිහිපදෙනෙක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
වැලිවේරිය පූර්වාරාමාධිපති මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක, ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වැලිවේරියේ අනෝමදස්සී, ගම්පහ විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ශ්‍රී සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සමායෝජක හේන්පිටමුල්ලේ සුසීල, වැලිවේරිය සුදර්ශනාරාමාධිපති වැල්ලගිරියේ රතනසිරි, වැලිවේරිය නැදුන්ගහහේන ශ්‍රී සුදර්ශනාරාමාධිපති තිඹිරිවැව ශිලසාර යන නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මාධ්‍ය සාකච්ඡාවට වැඩම කර සිටියහ.
බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම් චාන්දනී ගුණතිලක මහත්ම මහත්මීහු ද පැමිණි අය අතර වූහ.
රතුපස්වල ගැටළුවට රජය විසදුම් දී තිබියදී සිරිධම්ම හිමියන් ජනතාව පොළඹවමින් කටයුතු කිරීම ගැන කනගාටු වන බවත්, එලෙස කරන්නේ කුමක් හෝ අරමුණකින් බවත්, මාධ්‍ය මගින් ඒ හිමියන් උලුප්පා දැක්වීම වැරදි බවත් සාකච්ඡාවට සහභාගී වූ හිමිවරු කිහිප දෙනෙක් පැවසූහ.
උද්ඝෝෂණ මගින් ජනතාව පෙළගස්වන භික්ෂූන්වහන්සේලාට මාධ්‍යයෙන් ඉඩ නොදෙන ලෙස ද එක් හිමිනමක් ඉල්ලීමක් කළහ.
‘රතුපස්වල පානීය ජලයට ඇසිඩ් මුසුවී පී.එච් අගය අඩුවීමේ ප්‍රශ්නය ගැන අපි වගේම රජයත් බලවත් සේ කනගාටු වී සියලු කටයුතු සම්පූර්ණ කළා. ජනාධිපති මන්දිරියට අදාල කණ්ඩායම් ගෙන්වා පුළුල් ලෙස සාකච්ඡා කළා. වැදගත් තීරණ රැසක් ගත්තා. කර්මාන්ත ශාලාව ආරම්භ කරද්දී වැලිවේරිය නැදුන්ගමුව මුඩු බිමක්ව තිබුණත් දැන් ජනාකීර්ණ වෙලා නිසා ජනාධිපතිතුමා එක හෙළාම ප්‍රකාශ කළා මේ කර්මාන්ත ශාලාව ආයෝජන කලාපයට ගෙනයෑමට කටයුතු සලස්වනවා කියා. ඒ වගේම තීරණය කළා ප්‍රතිපාදන වෙන්කර ඒ ප්‍රදේශයේ ජනතාවට වහාම පානීය ජලය ලබා දෙන්න.එහෙම ක්‍රියාදාමය කරගෙන යනකෙට තමයි පසුගිය සිකුරාදා නැවතත් වැලිවේරිය ගිනිගන්නා තත්ත්වට කටයුතු කළ බවක් දැනගන්න ලැබුණේ. ‘
එම භික්ශූන් දීර්ඝ ලෙස සිරිධම්ම හිමියන් ගැන සහ රජය ලබා දුන් සහන ගැන කියද්දී මාධ්‍යවේදීහු ප්‍රශ්න නගන්නට වූහ.
මාධ්‍යවේදියෙක් - ‘27 වැනිදා සිට උද්ඝෝෂණ තිබ්බා. තෙරිපැහැ සිරිධම්ම හිමියන් විතරයි ජනතාව සමග හිටියේ. ජනතාවගේ ගැටළුව සොයා බලන්නවත් අනෙක් හිමිවරුන් වැඩියේ නැහැ. දේශපාලනයකින් තොරව තමයි සිරිධම්ම හිමියන් ජනතාව සමග හිටියේ. ළමයින් තුන් දෙනෙක් වෙඩි වැදී මැරුණා. කතෝලික සභාව ඒ ගැන නිවේදනයක් පවා නිකුත් කළා. බෞද්ධ ළමයින් දෙදෙනකු මරිලා. මේ සංගම් දෙකෙන්වත් ඇයි නිවේදනයක් නිකුත් නොකළේ? ඇයි සිරිධම්ම හාමුදුරුවන්ගේ සේවය අගය නොකරන්නේ ?‘
හිමිනමක් - ‘ඒ හාමුදුරුවන්ගේ කැපවීම හොදයි. ඒත් අරමුණ පැහැදිලි නැහැ.‘
හිමිනමක් - ‘අපිත් එතැනට ඇවිත් හිටියා.‘
මාධ්‍යවේදියෙක් - ‘ගහනකොට කොහෙද හිටියේ?‘
(පිළිතුරක් නැත.)
මාධ්‍යයවේදියෙක් - ‘එහෙනම් ඒ හාමුදුරුවන්ගේ අරමුණ කුමක්ද?‘
හිමිනමක් - ‘ඒක කියන්න බැහැ. පස්සේ තේරෙයි.‘, ‘අපිත් ප්‍රශ්නේ හිටියා‘
මාධ්‍යවේදියෙක් - ‘හාමුදුරුවෝ වැරදි නම් දඩුවම් කරනවාද? මොකක්ද දෙන දඩුවම?‘
හිමිනමක් - ‘ඒක හෙළි කරන්න බෑ. ඒ ගැන මාධ්‍ය අහන එක හොඳ නෑ.‘
මාධ්‍යවේදියෙක් - ‘සිරිධම්ම හාමුදුරුවන්ගේ කැපවීම හොඳයි, අරමුණ හොද නැහැයි කියනවා. ඔබවහන්සේලාගේත් කැපවීම හොඳයි. ඒත් අරමුණ මොකක්ද?‘
හිමිනමක් - ‘මේ වන විට ජල ගැටළුවට ලබා දී ඇති විසදුම් සහ නැවත උත්ගතව ඇති තත්ත්වය පැහැදිලි කිරීමයි.‘
මාධ්‍යවේදියෙක් - ‘මේක රාජ්‍ය ආයතනයක්. ඔබවහන්සේලා මෙතෙන මාධ්‍ය සාකච්ඡා තියද්දී ආණ්ඩුවට ගැතිකම් කරනවා කියා කාට හරි හිතෙයි. පුළුවන්නම් මේක ගිහින් වැලිවේරිය පිට්ටනියේ තියන්න. ‘
මාධ්‍යවේදියෙක් - ‘ඔබවහන්සේලා මෙතෙන මේ කියන ඒවා අපි පත්තරේ ලිව්වොත් අපටත් වැලිවේරියට යන්න බෑ, ගුටිකන්න වෙනවා.‘
මාධ්‍යවේදියෙක් - ‘සිරිධම්ම හාමුදුරුවෝ දැන් ජාතික වීරවරයෙක්. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේලාගේ මැදිහත්වීම අඩු නිසා තමයි ඒ හිමියන් වීරවරයෙක් වුණේ.‘
මාධ්‍යවේදියෙක් - ‘වෙඩි තැබීම සිදුවූ දින සිරිධම්ම හිමියන් සිටියේ රතුපස්වල කර්මාන්ත ශාලාව අසල. එතැන ඒහිමියන්ගේ නායකත්වය ජනතාවට ලැබී තිබුණ නිසා කර්මාන්ත ශාලාව අසළ උද්ඝෝෂණය කළ කිසිවකුත් පීඩාවට පත් වුණේ නැහැ. වැලිවේරියේදී ජීවිත තුනක් අහිමිවුණේ උද්ඝෝෂණයට යුද හමුදාව පැමිණි අවස්ථාවේ හමුදාවේ මැදිහත්වීම වලක්වන්නට ඔබවහන්සේලා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා නොවේද?‘ (නිසි පිළිතුරක් නැත.)
මාධ්‍යවේදියෙක් - ‘මේ කියන දේවල් පත්තරේ දැම්මාම සංඝ බේදයක් ඇතිවෙන්නේ නැද්ද?‘
හිමිනමක් - ‘මේවා මාධ්‍යයේ පළකරන්න එපා. ඔබේ දැනගැනීමට පමණයි කිව්වේ.‘
‘මේ ගැටළුව ඇති වුණේ නිලධාරීන් නිසි වේලාවට මැදිහත් නොවුණ නිසා යැයි‘ ස්වාමීන් වහන්සේ නමක් පැවසූ අතර ඒ ස්වාමීන් වහන්සේ කෙළින් කතා කරනවායැයි මාධ්‍යවේදීන් සිය සතුට පළ කළහ.
මාධ්‍යවේදීන් දිගින් දිගයම ප්‍රශ්න කරද්දී හිමිවරුන් එක්වරම පිරිත් කියන්නට වූහ. මාධ්‍ය සාකච්ඡාව එතැනින් අවසන් විය.

