උපරිම මිල ප්‍රදර්ශනය අනිවාර්ය කරයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් නිවැරදි තීරණ නිසා සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකා ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ‍

එසේම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ බදු සහන ලබාගෙන ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

වෙ‍ළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (22) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.