උප සභාපති හිමි බලෙන් මුලසුනට


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම විනාඩි පහකට කල්තැබූ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයා එක්ව උපසභාපති උක්වත්තේ චන්දිම හිමියෝ සභාපති පුටුවේ බලෙන් වාඩි කැරවූහ. එම අවස්ථාවේ අබේසේකර මන්ත්‍රීවරයා හිමියන්‍ට නිල් පැහැති මල් මාලාවක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කොල පැහැති මල් මාලා ද පැළැන්දූහ. ඔවුන් එසේ කරන ලද්දේ සභාපතිවරයාගේ පාලනය අකාර්යක්ෂම බැවින් ඔහු සභාපති ධූරයෙන් ඉවත්කොට උප සභාපති හිමියන් සභාපතිකළ යුතුයැයි පාලක පක්ෂයේ අබේසේකර මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාවකට මන්ත්‍රීවරු හය දෙනකුගේ එකඟතාව හිමිවීමෙන් පසුවය. ප්‍රේමලාල් අබේසේකර, දිල්රුක් අබේකෝන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ද, විපක්ෂ නායක හුසේන් කියාස්, අමිල නුවන් හා ටී.එච්.කුලරත්න මන්ත්‍රීවරයා ද ජනතා විමුක්ති පෙරමුණේ හර්ෂ ලියනගේ මන්ත්‍රීවරයාද එම යෝජනාවට එකඟවූහ. යෝජනාව ගෙන ඒමෙන් පසු සභාපති චානක මාදුගොඩ මහතා සභාව විනාඩි පහකට කල්තබා සිය අසුනෙන් ඉවත්වගියේය. චන්දිම හිමියන් සභාපති අසුනෙන් ඉවත්වීමත් සමග සභාපතිවරයා පැමිණ යළි රැස්විම ආරම්භ කළේය.