උප ඇමැතිගේ නම විකුණා දඹූලු ඩිපෝවෙන් තෙල් අරන්


2014 01 06 දින පෙරවරු  11ට පමණ  ඩබ් ලිව් ජී  එන් බී  1430 අංක දරන  සුදු පැහැති වෑන් රියට රජරට ප්‍රාදේශිය  ධාවන කළමනාකරු හා දඹුල්ල  ඩිපෝ කළමනාකරු වන  සිසිර ඒකනායක මහතා ගේ අණ පරිදි ඩිපෝවේ ඉන්ධන හලෙන්  ඩීසල් ලබා දී තිබිණැයි  එසැණට සාක්කි ලැබී තිබේ.

ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක  මහතාගේ සේවකයකු ලෙස  බොරුවට පෙනී සිටින  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ  හිටපු ප්‍රබලයකු හා  වැඩ තහනමට ලක් වු  ලංගම සේවකයකු වයඹ  හා රජරට  ලංගම ඩිපෝවලින්  ඉන්ධන  ලබා ගන්නා බව දැනගන්නට ඇත.

ලංගම බස් ඩිපෝවල  ඉන්ධන  පිරවුම්හල්  වලින් පෞද්ගලික වාහන වලට ඉන්ධන දීම නීතී විරෝධි බව  ඩිපෝ නිලධරයෝ කියති.

සැයීම තහනම් කැර  චක්‍රලේඛයක් ද නිකුත් කැර ඇත

සිසිර ඒකනායක මහතා මෙසේ කියයි.

‘අපි ඩීසල් දුන්නේ නැහැ. එහෙම පිට වාහනවලට ඩීසල් දෙන්න බෑ.හැබැයි  මේ  හිටපු නිලධාරියා  ඩිපෝවට ඇවිත් මගෙන් ඩීසල් ඉල්ලුවා.මම දෙන්න බැහැ කිව්වට පස්සේ  යන්න ගියා.ඕවා පත්තරවල දාන්න එපා .මම ඩීසල් දුන්නේ නැහැ.අනික අපිට පිට වාහනවලට ඩීසල් දෙන්න එපා කියලා තියෙන්නේ‘

ඉන්ධන  භාරව සිටින  දඹුල්ල  ඩිපෝවේ  ධාවනය වන කළමනාකරු  සී  සිරිසේන මහතාගෙන්  විමසීමේදී  කියා සිටියේ තමන්  ඉන්ධන නිකුත් කිරීම්  සටහන් පොතට අත්සන් තබන බවත්  එවැනි පිටස්තර  වාහනයකට ඉන්ධන නිකුත් කැර නැති බවයි.

2014-01-06 දින අංක 012009 දරන දඹුල්ල ඩිපෝවේ  ඉන්ධන හා  තෙල් පිරවුම් පත්‍රයේ  මීටර්  අංක 8820 යටතේ  ප්‍ර නි ඇ  (ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති) ලෙස  කෙටි නමක් යොදා  ඩිපෝ කළමනාකරුගේ  උපදෙස් පරිදි යනුවෙන් සටහන් කැර ඩීසල්  ලීටර් 20 ක් නිකුත් කළ බව  සටහන් වී ඇත.

ඊට ධාවන කළමනාකරු  මුද්‍රාව  තබා අත්සන්ද යොදා ඇත.

 ඩීසල් ලීටර් 20 ක් ලෙස එහි සටහන්  තැබුවද  ඩිපෝවේ ඇති  බස් රථවල  අංක යොදා  එම වාහනයට  ඉන්ධන ලබා දීම දී  ඇතැයි ආරංචි මාර්ග කියයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක  මහතා කියා සිටියේ තමන්ගේ එවැනි සේවකයකු නොමැති බවත්  ඉන්ධන  පිටස්තර අයකුට ලබා දී  ඇත්නම්  එම අයට විරුද්ධව  නීතීමය පියවර ගන්නා බවයි.

තමන්ගේ නම පාවිච්චි කරමින්  ඉන්ධන ලබා ගන්නා ජාවාරමක් ක්‍රියාතමක වන බවට ලැබුණු තොරතුරු මත වැඩි සැළකිල්ලක් දක්වා  ඊට  විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි.

එවැනි අයට හසු නොවන ලෙස ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.