උඳුවප් පෝදා සිරිපා වාරය ඇරැඹේ


මෙවර සිරිපා වන්දනා සමය  ලබන 13 වැනි දාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝදායින් ඇරඹෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.

අවාරයේ  සධාතුක කරඬුව, සමන්දේව රූප සහ දේවාභරණ තැන්පත් කර ඇති  පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ දී  පවත්වන පිරිත් දේශනාව දෙසැම්බර්   11 වැනි දා රාත්‍රී පැවැත්වෙන බව ද  නා හිමියෝ කියති.

දෙසැම්බර් 12 වැනි දා අලූයම   සිරිපා මළුව තෙක් සමන්දේව රූප සහ දේවාභරණ වැඩම කරවීම හැටන්-නල්ලතන්නිය, රත්නපුර-පලාබද්දල, සහ බළන්ගොඩ-මාරතැන්න යන මාර්ග තුන ඔස්සේ පෙරහර තුනක් ලෙස සිදු කරවන බව ද ඒ හිමියෝ සඳහන් කරති.

හැටන්-නල්ලතන්නිය මාර්ගය ඔස්සේ වැඩම කරවන සධාතුක කරඬුව, සමන් දේව රූපය සහ දේවාභරණ රැගත් රිය පෙරහර ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් අලුයමින් පිටත් වීමට නියමිතය.   එම රිය පෙරහර නල්ලතන්නියට ළඟවූ පසු නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට රාත්‍රියේම මළුව කරා පා ගමනින් පෙරහරින් ගමන් අරඹන බව ද  ශ්‍රීපාද පද්මය සුවඳ පැනින් දෝවනය කර  සධාතුක කරඩුවත්, සමන්දේව රූපයත්, දේවාභරණත් මළුවේ තැන්පත් කර මුල්ම පූජාවන් පැවැත්වීමෙන් පසු සිරිපා  සමය ඇරැඹෙන බව ද ඒ හිමියෝ කියති.

එසේම රත්නපුර-ශ්‍රීපලාබද්දල මාර්ගයෙන් එය  රිය පෙරහර පැල්මඩුල්ල නගරය ඔස්සේ පාතකඩ, සනනස්ගම, ලෙල්ලොපිටිය, හරහා රත්නපුර නගරයට වැඩම කරවා සබරගමු මහ සමන් දේවාලය, රත්නපුර නව නගරය, හිදැල්ලන ඔස්සේ නැවත රත්නපුර නගරයට පැමිණ මල්වල, ගිලීමලේ ඔස්සේ   පලාබද්දලට ගොස් එතැන් සිට පාගමනින් සිරිපා මළුව කරා වැඩම කෙරේ.  

තුන්වන රිය පෙරහර ඕපනායක, බළන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව, මස්කෙළිය, හරහා නල්ලතන්නිය දක්වා ගමන්කර නල්ලතන්නියේ සිට සිරිපා මලුවට පාගමනින් වැඩම කරවන කරවීමට නියමිතය.  මෙම පෙරහර පළමු වැනි වරට ගිය වසරේ ඇරඹූ බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ පවසති.