‘‘තවමත් හැමෝම ඇයව ආමන්ත‍්‍රණය කරන්නේ සංසලා කියලා’’ පුංචි තිරයේ නොමද ආදරය දිනාගත්ත කටකාර තාරකාවිය විවිධ චරිත ඔස්සේ නිතර ඔබ හමුවට පැමිණියත්, ඇය කෙටි කලකට කාලාවෙන් ඉවත්වෙලා කියලා ආරංචි වුණා. ඇය උදාරි වර්ණකුලසූරිය. මේ දිනවල හිරු ටී.වී නාලිකාව ඔස්සේ විකාශය වන ගැමුණුු මහරජ ටෙලි වෘතාන්තයේ රන් මැණිකාගේ චරිතයට පණ පොවමින්ද ඇය ඉහළ පේ්‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර දිනාගෙන හමාරයි. කොහොම වුණත් උදාරි කෙටි කාලයකට කලාවෙන් සමුඅරන් විදේශ ගතවුණත් දින කිහිපයකට ලංකාවට පැමිණීමත් එක්ක ඇය සමඟ කථාකරන්න හිතුවා. මේ ඇගේ ආදරය පිරුණු කැදැල්ලට අපි ගොඩ වූ අවස්ථාවක්.
ඉතින් කොහොමද?
ජීවිතේ ගොඩක් සතුටින් සුන්දරව ගෙවිලා යනවා. දැන් මම ඉස්සරට වඩා කාර්යබහුල අම්මා කෙනෙක්නේ.
එතකොට ඉස්සර ඉඳපු කාර්යබහුල රංගන ශිල්පිනියට මොකද වුණේ?
කලාවට මම මැරෙනකම් ආදරෙයි. ඒත් අම්මා කෙනෙක් බිරිඳක් විදියට අපට වගකීම් ටිකක් තියෙන්වානේ ඉටු කරන්න... ඒ සමහර වගකීම් ඉටු කරන්න අපි ආදරේ කරන ගොඩක් දේවල් අතහරින්න වෙනවා. ඒ නිසා ඒ කාර්යබහුල රංගන ශිල්පිනිය ටික කාලයකට පොඩි නිවාඩුවක් ගන්න හිතුවා.
ඉතින් හදිස්සියේම ලංකාවට ආවේ?
දවස් කිහිපයකට තමයි මම ලංකාවට ආවේ. තාත්තිගේ උපන්දිනේටයි. ඊට අමතරව අතවශ්‍යය කටයුතු කිහිපයකටත් එක්ක තමයි ආවේ.
හිටි හැටියෙම උදාරි කලාවෙන් සමුගන්න තීරණය කළේ?
දුවගේ අධ්‍යාපන වැඩකටයුතුවලට මුලිකත්වය දෙන්න තීරණය කළා. එයා දැන් මොන්ටිසෝරි යනවා. ඉතින් දුවගේ අධ්‍යාපන කටයතු සිද්ධ වෙන්නේ සිංගප්පුරුවේ. මම දැන් එයා ළඟ ඉන්න ඕනම අවධිය. ඒ නිසා පුංචි කාලෙකට රංගනයෙන් ඉවත් වෙලා දුව වෙනුවෙන් විදෙස් ගත වෙන්න තීරණය කළා. ඒත් ඉක්මනටම නැවත කලා වැඩවලට එකතුවෙනවා.
ඔබ කලාවෙන් තාවකාලිකව ඉවත් වුණු මේ දෙවන වතාව නේද?
ඔව් මීට පෙරත් විවාහක රූජිණ තරගයට මාස කිහිපයක්ම රංගන කටයුතුවලින් ඉවත් වෙලා හිටියා. ඒ වෙලාවේ ඔක්කොම බදාගෙන හිටිය නම් මට එක ජයග‍්‍රහනයක්වත් ලබාගන්න ලැබෙනේනේ නැහැ. අපේකම ලෝකෙටම අරගෙන යන්න තමයි ඒ මොහොතේ මම තාවකාලිකව රංගනයෙන් සමුගත්තේ. දැන් මගේ චූටි දුව වෙනුවෙන් කලාවට සමුදෙන්න තීරණය කළා. මම හිතුවා සදහටම මම කලාවෙන් සමුගත්තත් මගේ වටා ඉන්න රසිකයන්ට මාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒත් මම ඔවුන් වෙනුවෙන් මට හැකිතාක් අයුරින් රංගන කටයුතුවලට දායක වෙනවා.
ඔබේ සැමියා සහ ඔබ ක්‍ෂේත‍්‍ර දෙකක. ඔබ රංගන ශිල්පිනයක්. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු ඔබට නීතිරීති දාලා කොටු කරන්න උත්සාහකරන්නේ නැද්ද?
සුජිත් කවදාවත් මට රංගන කටයුතුවලින් ඉවත් වෙන්න කියලා නීතිරීති දාලා නැහැ. මම ක්‍ෂේත‍්‍රයට එද්දී මට වයස 19යි. අවුරුදු 20දි මම විවාහ වුණා. පසුගිය අවුරුදු දහය පුරාවට විවාහක බිරිඳක්, මවක් වුණා. ඒ හැමදේම එක්කම දෙවරක් වසරේ ජනප‍්‍රිය නිළිය වුණා. උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘‘පායා එන්න හිරු සේ’’ චිත‍්‍රපටය රිලීස් වෙන්න කලින් මම විවාහ වුණාම හැමෝම ඇහුවා ඒක මගේ ගමනට ලොකු පාඩුවක් නේද කියලා. නැහැ විවාහය මට ලොකු ආශිර්වාදයක් වුණා. හැම නිර්මාණ කටයුත්තක්ම සාර්ථක කරගන්න සැමියගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම සුජිත් වගේ ස්වාමියෙක් ලැබෙන්න මම ගොඩක් පිං කරලා තියෙනවා.
සුජිත්ගෙන් ඔබට විශේෂ සහයක් ලැබෙනවද?
ඇත්තටම මම ගොඩක් කාර්යබහුල වුණ අවස්ථාවල දැන් වැඩ කරා ඇති කියලා හිතෙන හැම වෙලාවකම හිතට ශක්තිය දෙන්නේ සුජිත්. ඔහු නැත්නම් ඇත්තටම මම ලෝක රූ රැුජිණ තරගයෙනුත් ඉවත් වෙලා. මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම සම්මානය තමයි මගේ මහත්තයා සුජිත්.
පෞද්ගලික ජීවිතේ වගකීම් එක්ක ඉස්සර තිබුණ සැහැල්ලූකම දැන් නැතිවෙලාද?
හිතේ සැහැල්ලූව ඉස්සර තිබුණා වගේමයි. මම බබා ලැබුණට පස්සේ ගෙදර වැඩට කෙනෙක් ගත්තේ නැහැ. මගේ අතපය හොඳට ශක්තිමත්... මගේ දරුපැටියා බලාගත්තේ මගේ අත්දෙකෙන්මයි. අම්මා කෙනෙක් බිරිඳක් විදිහට වගකීම් වැඩියි. සුජිත් නිතරම රැුකියාව නිසා ඉන්නේ විදේශගත වෙලා නිසා, ලංකාවේදි මගේ හැමදේකටම සෙවනැල්ල වුණේ මගේ තාත්තා. අපි දෙන්නා දුරින් ඉන්නකොට ආදරේ දැනෙනවා වැඩියි. නිතරම ලංවුණේ තාක්ෂණයත් එක්ක. ඒ දවස්වල දුවට තාත්තව නිතරම මතක් වෙනවා. ඒ නිසාම සුජිත් අපිව බලන්න සති දෙකකට වරක් අනිවාර්යයෙන්ම ලංකාවට ආවා. දැන් ඉතින් දුවයි මමයි සුජිත් ළඟ නිසා ජීවිතයේ කවදාවත් නොදැනුන සැහැල්ලූවක්, නිදහසක් දැනෙනවා.
මේ විදියට කෙටි දිනවලට ලංකාවට ආවම රඟපාන්න ආරාධනා ලැබෙන්නේ නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම භාරගන්නේ නැහැ.
ගැමුණු මහරජ රූගත කිරීම් සියල්ල අවසන් කරලද විදේශ ගත වුණේ?
ඔව්. මම භාරගත්ත වැඩ තිබුණේ ගැමුණු මහරජ විතරයි. ඒ වෙනකොට මම කිසිම කලා වැඩක් භාර අරගෙන තිබුණේ නැහැ. ගැමුණු මහරජ කතාවෙන් සියලූ වැඩ අවසන් කරලා තමයි මම විදේශගත වුණේ. ගැමුණු මහරජ දෙවන පරිච්ෙඡ්දයේ මගේ රංගනයක් නැහැ.
අම්මා කෙනෙක් විදියට දියණිය මොන ක්‍ෂෙත‍්‍රයෙන් ඉදිරියට යවන්න ද බලාපොරොත්තුව?
මේ අම්මාගේ ලොකුම හීනය පැටියාව ලෝකෙට බරක් නොවී ජීවත්වෙන්න හොඳ පුරවැසියෙක් කිරීම.
ඉතින් ආයේ කවදද ලංකාවට එන්නේ?
ඒක හරියටම කියන්න බැහැ.
තාත්තාව බලලා යන්න ඉක්මනටම පුළුවන් හැම වෙලාවටම එනවා. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් කියනවා.
‘‘ඉක්මනටම මම ආයෙමත් රංගනයට එනවා’’ මේක දු පැටියා වෙනුවෙන් මම ගත්ත පුංචි නිවාඩුවක්.
නදීශා අතුකෝරළ

