උද්භිත උද්‍යාන සංවර්ධනයට මිලියන 517ක්



( තිළිණි ද සිල්වා )
 
ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
 
ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 177.1ක් ද ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හා ගනේවත්ත වන ඖෂධ උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 60.5ක්ද ,හග්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 63.5ක්ද , මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 25.58ක්ද, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 24.2ක්ද වෙන් කර ඇතැයිද ඇමතිවරයා පෙන්වා දේ.
 
මීට අමතරව මල් වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 47ක් වෙන් කර ඇති අතර , මේ යටතේ  මල් වගාකරුවන් 5000කට පමණ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට නියමිතය.
 
මීගලෑව හරිත පියස පුහුණු මධ්‍යස්ථානය, ශාඛාගාරය හා ශාඛා වර්ගීකරණය හා පර්යේෂණ වැඩසටහන සඳහා ද ප්‍රතිපාදන වෙන්කර තිබේ.
 
මෙවර උද්භිද උද්‍යාන සංචාරක අමාත්‍යංශය යටතට ඇතුලත්ව පවතින බැවින් මෙරට ඇති සියලුම උද්භිද උද්‍යාන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත් , මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කීවේය.