
(විනීතා එම් ගමගේ)
දකුණු මුහුදේ කුඩා රාවණ පරයේ හැපී නොගැඹුරු වැල්ලේ සිර වු යුරෝසන් නෞකාව උදම්රළක් සමග යළි එසැවී දැනට වැලි පරයෙන් මිදී මේ වන විට කිලෝමීටර් පහක් පමණ ඈතට ගොස් නැංගුරම් ලා ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි.
අනතුර සම්බන්ධව සොයා බැලීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් පිරිසක් 24 දා එහි යැවූ නමුත් දියවැල් ගහන වීම හා සාගරය ප්‍රචණ්ඩව පැවැතිම හේතුවෙන් කිමිදුම්කරුවන්ට කිමිදිය නොහැකි වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
කුඩා රාවණ පරයට හා එහි ජීවී ප්‍රජාවට යම් භෞතික හානියක් වී ඇත්දැයි බැලීම සඳහා තම නිලධාරින් දිගින් දිගටම පරික්ෂණ පවත්වන බවත් එවන් හානියක් සිදුව ඇත්නම් ඒ වෙනුවෙන් යම් වන්දියක් ඉල්ලා සිටිය යුතු බවත් සභාපතිනිය පැවැසුවාය.
නැවෙන් තෙල් විසිරීමක් සිදුව නැතැයි ද නැව නිරුපද්‍රිතව යලිත් දියත් කළ හැකි මට්ටමක ඇත්නම් එය පරික්ෂා කර බලා ත්‍රිකුණාමලය බලා පිටත් වීමට අවසර දීමට නාවික හමුදාව, වෙළඳ නැව් ලේකම් කාර්යාලය හා එක්ව පරික්ෂණයක් පවත්වනු ඇතැයි ද ඇය කීවාය.
ලයිබීරියානු ධජය යටතේ දියත් වන මෙම නෞකාව සිමෙන්ති නිපදවීම සඳහා යොදා ගන්නා ක්ලින්කර් මෙට්‍රික් ටොන් 33,000 ක් පමණ රැගෙන ත්‍රිකුණාමලය බලා යාත්‍රා කරමින් සිටිය දී මෙම නෞකාව අනතුරට පත්වූයේ ගොඩබිම සිට නාවික සැතපුම් 35 ක් පමණ ඈතින් කුඩා රාවණ පරය ආසන්නයේ දීය.
නෞකාව අනුරට පත්වෙද්දී එහි ක්ලින්කර් තොගයට අමතරව එම් ජී ඕ තෙල් (marine gas oil) මෙට්‍රික් ටොන් 62ක් හා නැව සඳහා වන ඉන්ධන මෙට්‍රික් ටොන් 700 ක් පමණ ද තිබී ඇතැයි ද ඇය කීවාය.

