උතුරේ නිවාස හදන චීන - ශ්‍රී ලංකා ගිවිසුම ඉවතට


කොළඹදීය (රොයිටර්)
 
උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදි කිරීම සඳහා චීනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගත් තීරණය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.
 
ඒ වෙනුවට ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට දින කිහිපයක් තිබියදී එම තීරණය ගෙන තිබේ. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (20) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට ද්විපාර්ශවීය සබඳතා පවතී. දෙරටේ තිබෙන සංස්කෘතික සබඳතා සහ මෙරට උතුරු හා නැගෙනහිර පළාත්වල දමිළ ජනතාවගේ වාර්ගික සබඳතා එම දිගුකාලීන සබඳතාවලට මූලික හේතුවකි. 
 
යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 40,000ක් ඉදි කිරීම සඳහා චීන රජයට අයත් ‘චයිනා රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප්” සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී ටෙන්ඩරයක් දිනාගත්තේය. නිවාස ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබූ අතර චීනයේ අපනයන ආනයන බැංකුව (එක්සිම් බැංකුව) ඊට අරමුදල් සැපයීමට නියමිතව තිබිණි.
 
යාපනය දිස්ත්‍රික්කයේ නිවැසියන් ගඩොලින් ඉදි කළ නිවාස ඉල්ලීමත් සමඟ අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමන ලදි. යාපනයේ වැසියෝ ඔවුන්ට සාම්ප්‍රදායිකව ඉදි කරන අයුරින් ගඩොල් භාවිත කරමින් නිවාස ඉදි කර දෙන්නැයි ඉල්ලූහ. 
 
චීන සමාගම නිවාස සමාගම කොන්ක්‍රීට් භාවිත කරමින් අදාළ නිවාස ඉදි කිරීමට සැලසුම් කර තිබිණි. 
 
රුපියල් බිලියන 35.8ක වියදමින් (එක්සත් ජනපද ඩොලර් මිලියන 210) නිවාස 28,000ක් ඉදි කිරීමේ නව යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බදාදා (17) පැවැසීය.
 
 ඒ අනුව ඉන්දියාවේ ‘එන්.ඩී. එන්ටර්ප්‍රයිසස්’ සමාගම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකික සමාගම් දෙකක් එක්ව අදාළ නිවාස ඉදි කිරීමට නියමිතව ඇත. නිවාස 65,000කට අවශ්‍යතාවක් ඇති බවත් අදාළ නිවාස ඉදි කෙරෙන්නේ අදාළ අවශ්‍යතාවයෙන් කොටසක් සැපිරීමට බවත් අමාත්‍යවරයා කීය. 
 
“ඉතිරි නිවාස අඩු මිලකට ඉදි කිරීමට සූදානම් සමාගමකට ලබා දෙනවා” යැයි අමාත්‍යවරයා කොළඹදී ප්‍රකාශ කළේය. ඉතිරි නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති සඳහා චීනය ද සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය. 
 
 
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව සමාන අවස්ථා මත පදනම් වන්නක් බවත් ඉදිරියේදී ද දෙරට අතර හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලී කැන්ග් බ්‍රහස්පතින්දා (18) බීජිං නුවරදී ප්‍රකාශ කළේය.
 
 චීන - ශ්‍රී ලංකා සහයෝගීතාව කිසිදු පෞද්ගලික මත හෝ අදහස් මත යැපෙන්නක් නොවන බවත් එම සහයෝගීතාව කිසිදු බලපෑමකින් තොර ස්වාධීනව ගොඩනැගුණු එකක් බවත් ඔහු කීවේය. 
 
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන වරාය ව්‍යාපෘතිය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රට ණය උගුලකට ගෙන යන්නේ යැයි ඇතැම් පාර්ශව චෝදනා කරති. 
තිස් වසරක සිවිල් යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ පළමු අදියර යටතේ ඉන්දියාව උතුරේ නිවාස 44,000ක් ඉදි කළේය. 
 
යුද්ධයෙන් දරුණු ලෙස හානි වූ පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය නැවත ඉදි කිරීමට ද චීනය සැලසුම් කර ඇත.
 
 
කෙසේ නමුත් චීනය මැදිහත් වී ශ්‍රී ලංකාව තුළ මහාමාර්ග, වරාය සහ බලාගාර ඉදි කරමින් සිටියි. එය චීනයේ ආසියාවේ මිත්‍ර වරාය අතර ජාලයක් ගොඩනැගීමේ උපායමාර්ගයේ එක් කොටසකි. 
 
ඉන්දියාව මේ පිළිබඳව සැළකිලිමත් වී ඇත. මේ නිසා තම දකුණු දිග මුහුදු තීරයේ වැඩිවෙමින් තිබෙන චීන සාගර ක්‍රියාකාරකම් හා බලපෑම් අවම කිරීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටී. 

(055)