උතුරු මැද සබේ පිරිසක් උසාවි කැඳවයි


රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තකරුවන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වගඋත්තරකරුවන්ට මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු හා ජනතා  විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී  වසන්ත සමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින්  පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් ඇමැතිවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ.එච්.නන්දසේන, අජිත් සමරකෝන්, එච්. බී.  සේමසිංහ, පළාත් ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් යන අය එසේ උසාවියට කැඳවනු ලැබ සිටිති.