උතුරු මහ ඇමැති අලුත් බලවේගයක් හදයි


දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි දෙමළ  දේශපාලනඥයනට බලපෑම් කිරීම සඳහා උතුරේ මහ ඇමැති සී.විග්නේෂ්වරන් දෙමළ මහජන මණ්ඩලය නමින් සංවිධානයක් බිහි කරයි.

උතුරු පළාත් සභාවේදී මෙහි මංගල රැස්වීම පැවැත්විණි. දේශපාලනඥයෝත් ආගමික නායකයෝත්, සමාජ ක්‍රියාධරයෝත්, වෘත්තිකයෝත් පිරිසක් ඊට එක්වූහ.

නව සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස මහ ඇමැති විග්නේෂ්වරන්ද, දොස්තර පී.ලක්ෂ්මන් ද තෝරාගනු ලැබූහ.

ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ (ටී.එන්.පී.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, අදීන ස්වාමි සෝමසුන්දර පරමාචාර්ය, කතෝලික පූජකවරුදෙදෙනෙක් වන එස්. මංගලරාජා හා ආර්.රවිචන්ද්‍රන්ද, වෛද්‍යවරු දෙදෙනෙක්ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ද රැස්වීමට ආහ. නව නිලධාරී මණ්ඩලයට උප කමිටු දෙකක්ද පත්කැර ගැනිණි.

ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීම හා සංස්කෘතික කටයුතු ගැන සොයාබැලීම එම කමිටු දෙකට පැවරේ. දොස්තර ලක්ෂ්මන් පැවසූයේ මෙම මණ්ඩලය දෙමළ දේශපාලනඥයන්ට පීඩන කණ්ඩායමක් වශයෙන් කටයුතු කරයි.

මහ ඇමැති විග්නේෂ්වරන් පැවසූයේ එම සංවිධානය කිසිවකුගෙන්වත් පළිගැනීමක් නොකරන බවයි. දෙමළ දේශපාලනඥයන් මෙතෙක් දොරගුළු දමාගෙන ගත් තීරණ අනාගතයේදී මහජනයා ඉදිරිපිට ගතයුතු බව දොස්තර ලක්ෂ්මන් කියයි.

web_north_2015122000f5b957f