‘ඒකීය ශ්‍රී ලංකාවක ස්වයං පාලනය අරමුණු කර ගත් දේශපාලන විසදුමක් පතා අපි ක්‍රියා කරන්නෙමු.අපි අහිංසාවෙන් ස්වයං පාලනය කරා යන්නෙමු. අපි මේ රටේ කොටස් කරුවෝ වෙමු.බදු කරුවෝ නොවෙමු ,අපි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීනට එරෙහිව සටන් කළෝ වෙමු.අපේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණු ඉටු කරගනිමින් අනාගතයේදී ස්වයං පාලනය සදහා වන සටන අරඹන්නෙමු.’
උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා එහි මංගල සභා රැස්වීම අමතමින් එසේ ප්‍රකාශ කළේය .
උතුරු පළාත් සභාවේ මංගල සැසිය ඊයේ (25) පෙරවරු 9 ට යාපනයේ කයිනඩියේ පිහිටි නව පළාත් සභා ගොඩනැගිල්ලේ දී රැස්වීය.
‘ඡන්ද කාලේ මම ප්‍රභාකරන් ගැනත් කතා කළා. ඒ කතාව ගැන දෙමළ මිනිසුන් සතුටු වෙන්න ඇති. සිංහල මිනිසුන් සතුටු නොවෙන්න ඇති. ඒවගේම තමයි බ්‍රිතාන්‍යය යුගයේ දී කැප්පෙටිපොළ දිසාවෙ ගැන සිංහල මිනිසුන් සතුටු වෙන්න ඇති. බ්‍රිතාන්‍ය පාලකයන් තරහෙන් බලන්න ඇති. මම කියන්නේ අපි මේවගේ දේවල් එක් එක්කෙනා හිතන ආකාරය අනුවයි සිදුවන්නේ.
මෙවැනි දෙයින් අප සිතා ගත යුත්තේ එකට ජීවත් විය යුත්තේ කෙසේ ද යන්නයි. එකට වැඩ කළ හැක්කේ කෙසේද යන්නයි. එකට වාසය කළ හැක්කේ කෙසේද යන්නයි. එහෙම නැතිව තරහ වී දෙපැත්තට වී කුළල් කා ගැනීම නොවේ. එසේ කිරීමෙන් කාටවත් වැඩක් වෙන්නේ නෑ. අපට උතුරෙන් ජනවරයක් ලැබුණා.ආණ්ඩුවට සහාය දෙන්න කැමතියි. රජය අපට සහය දුන්නොත් උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන්. ජනතා දුක වේදනාව නැති කරන්න පුළුවන්. අවශ්‍ය සහයෝගයෙන් වැඩ කිරීම පමණයි.‘ යැයි ද මහ ඇමැති විග්නේෂ්වරන් පැවසීය.
බෞද්ධ, හින්දු ,කතෝලික මුස්ලිම් ආගමික නායකයෝ ද මේ අවස්ථාවට සහභාගී වුහ.උතුරු පළාත් ආණ්ඩුකාර මේර්ජ ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි හෝ හමුදා නිලධරයෝ පළාත් සභා මංගල රැස්වීමට සහභාගී නොවීය. පොලීසිය සහභාගී විය. යාපනය මහ දිසාපති සුන්දරෙයි අරුණනෙයිනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධරයෝද සහභාගී වී සිටියහ.
එහිදී උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සංධානයේ සී වී කේ ශිවඥානම් මහතා තේරී පත් විය.උප සභාපති ලෙස ඇන්ටන් ජෙගනාදන් හා විපක්ෂ නායක ලෙස එන් කමලේන්ද්‍රන් මහත්වරු තේරි පත් වුහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීටී කුරකුලරාජා මහතා ඔහුගේ නමයෝජනා කළේය. දෙමළ ජාතික සන්ධානයේ පී අයින්ගරනේෂන් මහතා එම යෝජනාව ස්තීර කළේය.අනතුරුව එම යෝජනාව ඒකමතිකව සම්මත විය.
උතුරු පළාත් සභාව රැස් වීමට පෙර පළාත් සභා ගොඩනැගිල්ලල විවෘත කළ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි හා උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඒකීය ශ්‍රී ලාංකාවක ස්වයං පාලනය උතුරු පළාත් සභාවේ අරමුණ බවත් පැවසු ඔහු කෙට් කාළින හා දීර්ඝ කාලීන සැළැසුම් ඉදිරිපත් කළේය.දීර්ඝකාලීන ඉලක්ක යුද හමුදාව කදවුරුවලට යවා මෙම ඉඩම් හිමිකරුවනට දිය යුතු බවත් මහ ඇමැති සාමාන්‍ය වැසියන් පස් දෙනකුට සෙබළකු බැගින් සිටින බව කී මහ ඇමැති පියවරෙන් පියවර හමුදාව ඉවත් කරන බව සදහන් කළේය.
අන්තර්ජාතික ප්‍රජාවගේ සහායෙන් සෙබළුන් සාමාන්‍ය ජන ජීවීතයට හුරු කළ යුතු බව කී මහ ඇමැති අතුරු සන්නද්ධ කණ්ඩායම් සතු අවි ඔවුන්ගෙන් ඉවත් කළ යුතු බවද සදහන් කළේය.
උතුරේ ආණ්ඩුකාරවරයා හමුදා නිලධරයකු බව කී මහ ඇමැති සාමාන්‍ය කෙනකු එම පදවියට පත් කළ යුතු බවත් කීවේය.
උතුරට දෙමළ කතා කරන පොලීසියක් අවශ්‍ය බව කි මහ ඇමැති අස්ථාන ගත වු මුස්ලිම් ජනයා යළි පදිංචි කරවන බවද කීවේය.
අල්ලස දුෂණය හා දේශපාලන ඇගිලි ගැසීම්වලට උතුරු පළාත් සභාවේ ඉඩක් නැතැයි කී මහ ඇමැති ජනපද පිහිටුවීමේ නාමයෙන් හමුදා සහාය ඇතුව කොළණි පිහිටවීමට විරුද්ධ බවද මහ ඇමැති පැවසීය.