උතුරු - නැගෙනහිර පැරණි උරුමයන් වනසයි


 

(යොහාන් භාසුර)

‘වික්‍රමසිංහ - රාජපක්ෂ ආණ්ඩුව‘ ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් 74 ක් සංහාරයට ඉඩදී නිහඬව බලා සිටින බවත් එම පුරාවිද්‍යා උරුමයන් සංහාරය දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී පක්ෂවල අනුග්‍රහයෙන්, උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වය ඇතිව කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (4) පැවසීය.

එය බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමක් බව කී සමරවීර මහතා කොළඹ සංසිද්ධීන් දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටින මේ මොහොතේ ලාංකේය ජාතියට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා උරුමයන් බොහෝ වේගයෙන් සංහාරය වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

මෙම පුරාවිද්‍යා උරුමයන් සංහාරයට සාමාන්‍ය දෙමළ ජනතාව තදබල ලෙස විරුද්ධ වුවද ඔවුන්ගේ හඬ යටපත් කර ඇති බව කී ඒ මහතා දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනෙක් පසුගියදා උතුරු පළාතට පැමිණි බව ද සඳහන් කළේය.

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නැදුන්කර්නි පොලිස් බල ප්‍රදේශයේ, නයිනමඩු රක්ෂිතයේ, 222 ඕළුමඩු ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන වඩුන්නාගල හෙවත් වෙඩිකිනාරිමලේ පුරාවිද්‍යා ස්මාරකය පසුගියදා සංහාරයට ලක්වූ බවත් එය අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම එහි ලෙන් විහාර අටක් ඇතුළත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තර සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.