උණ පුරුකේ දැමුවත් මේ වලිගේ ඇද නෑරේ


අධිකරණයේ ඉහළ තනතුරක් දරණ පුද්ගලයකුගේ  නිවසේ රාජකාරී කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් පිරිසකට එල්ළ වන තර්ජන ගර්ජන  කුණු හරුපෙන් බැන වැදීම් හා  ඔවුන්ගේ අවි උදුරා ගැනීමට තැත් කිරීම් නිසා ගිනි අවි අතැතිව සිටින ඔවුන් අතින් අනපේක්ෂිත තත්ත්වයක්  උදා විය හැකි යැයි  එම පොලිස් කණ්ඩායම භාරව සිටින පොලිස් නිලධරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ලිඛිතව දන්වා යවා ඇත.

නියෝග කරන නිසා අකමැත්තෙන් රාජකාරියට යන මේ පොලිස් සාමාජිකයන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බවත් ඔවුන් සිටින තත්ත්වය අනුව පහර දීමක් හෝ වෙඩි තැබීමක් සිදු වුවහොත් එය බරපතල ලෙස පොලීසියේ හා  අධිකරණයේ කීර්ති නාමයට හානි වන බවත් එම  ලිපියේ සදහන් වේ.

මීට දෙවසරකට පෙර ද එම පුද්ගලයා  කොස්තාපල්වරයකුට පහර දීම නිසා  නිවසේ රාජකාරීය වෙනුවට පොලීසිය එම නිවස ඉදිරිපිට මාර්ගයේ රාජකාරියට යෙද වු බවත් පොලීසිය සදහන් කරයි.

ඉන් පසු එම නිලධරයා පොලිස්පතිගෙන් කළ ඉල්ලීමක් අනුව වෙනත් පොලීසියකින් කොස්තාපල්වරුන් හය දෙනකු , ගිනි අවි ද සමග  යළි එම නිවසේ ආරක්ෂක රාජකාරීවලට යවා  ඇතැයිද  ඉන් කොස්තාපල්වරුන් සිව් දෙනකුටම බැන තර්ජනය කැර ඇතැයි ද ඔවුන්ගේ රාජකාරී සටහන් පොත්වල ලියා ඇති එම තොරතුරු සත්‍ය බව පෙනේ යැයි ද එම පොලිස් නිලධරයා කියා ඇත.